පොලිසිය – නිතිය සතයකට ගණන් ගන්නේ නැ – උතුරේ පාලනය කරන්නේ මැරයෝ

අවි ගත්තෝ නිසා යළිත් වරක් උතුරේම වැසියෝ බියට පත්ව සිටිති.

එම අවි ස්වයංක්‍රිය අවි නොවූවත් කපා කොටා තුවාල සිදු කොට මිනිසුන් මරා දැමීමට එම අවිවලට හැකියාව ඇත. අවිය සමඟ අවිය අමෝරා ගත් මිනිසුන් සිටියත් කපා කොටා මරා දැමීමෙන් පසුව අවි ගත්තෝ කොහේ හෝ සැඟවී ගොසිනි.

අවිකරුවන් සෙවිය යුතු පොලිසියට උතුරේ මේ අවිකරුවන් අල්ලා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ නිවෙසකට යතුරුපැදියකින් තරුණයන් දෙදෙනකු පැමිණියේ මහා දවාලේදීය.

සෙල්ලා ……සෙල්ලා යනුවෙන් නිවෙසේ සිටි තරුණයාගේ නම කියා අඬ ගැසූ ඒ තරුණයන් දෙදෙනා සෙල්ලා නිවෙසින් එළියට පැමිණෙත්ම පොහොර උරයක ඔතාගෙන පැමිණි කඩුවකුත් නොවන පිහියකුත් නොවන ඒ හා සමාන අවියකින් සෙල්ලාව කපා දැමුවේය. සෙල්ලා පණ එපා කියමින් දුවන්නට වූයේ නිවෙසේ සිටි සෙසු අයගේ කෑකෝ ගැසීම මධ්‍යයේය.

තරුණයෝ දෙදෙනා අවියද ඔතාගෙන යතුරුපැදියේ නැඟී යන්නට ගියහ. නිවෙස පිටුපස සැඟවී සිටි සෙල්ලා නෙල්ලිඅඩි පොලිසියට කතා කොට පොලිස් නිලධාරීන් පිරිසක් නිවෙසට කැ¼දවාගෙන රෝහල් ගත විය. සෙල්ලාට රෝහලට යෑමට පවා පොලිස් ආරක්ෂාව අවශ්‍ය විණි. ඒ තරමට උතුරේ අවිකරුවෝ ප්‍රබල වී තිබේ.

යාපනයේ මන්තිහෙයි රෝහලට ඇතුළත් කළ සෙල්ලා සියා සිටින්නේ තමන්ව කපා දැමූ තරුණයන් දෙදෙනා කවුරුන්දැයි තමන් දන්නා බවයි. පොලිසියට අවශ්‍යම දේ සෙල්ලා කියා සිටියත් සෙල්ලාව මහ දවල් කපා දැමූ අවිගත් තරුණයන් දෙදෙනා තවමත් නිදැල්ලේය.

මුලතිව් කල්ලපත්තු උතුරු ගම්මානයෙන් මියගිය තරුණයකුගේ මළ සිරුරක් පොලිසියට හමුවී තිබේ. මේ තරුණයා මියගොස් ඇත්තේ ඉතා තියුණු ආයුධවලින් තරුණයාගේ කීප පළකටම ඇනීමෙන් හා කෙටීමෙනි. මේ තරුණයා ඒ ගම්මානයට නුදුරින් පිහිටි කල්ලපුරම් නමැති ගම්මානයේ ජීවත් වූ වයස අවුරුදු 28ක අයෙකි. ඔහු නමින් වරදරාජා සදානිස් වෙයි.

එදා ස්වයංක්‍රිය අවිවලින් පිරුණු මුලතිව් පළාතේ දැන් මිනිසුන් මරා දමන්නේ අවිකරුවෝ ඔවුන්ගේ අවිවලින් කපා කොටා දමමිනි.

පොලිසිය කළ දැනුම්දීමට අනුව මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින් කුමාර් මහතා පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළද මිනීමරුවන් නොමැත. නමුත් තරුණයකු අවි ගත්තෝ විසින් මරා දමා ඇත.

යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ රාත්‍රි ආපන ශාලාවකට තරුණයන් පිරිසක් පැමිණෙන්නේ රාත්‍රි ආහාරය ගැනීමටය. ආහාරවේල පිළිබඳව යම් ප්‍රශ්නයක් පැනනඟින්නේ ආහාර ගන්නා අතරතුරදීය. මේ ආහාරවේල සම්බන්ධයෙන් වූ ආරවුල බහින්බස් වීමකින් දිග්ගැසී පහරදීමකට පැමිණෙයි. තරුණයෝ ඉවක් බවක් නොමැතිව ආපන ශාලාවේ දේපළවලට පහර දෙද්දී එහි කළමනාකාරවරයා ඇතුළු සේවකයෝ පණ බේරා ගැනීම සඳහා දිව යන්නෝය. ඔවුන් එහි සිටියේ නම් ඔවුන්ද ආයුධවලින් කීතු කීතුවලට කපා දමන බව පසක් වන්නේ අලුයම් කාලයේ ඔවුන් ආපන ශාලාවට පැමිණ බලන විට දුටු දර්ශන පෙළ නිසාවෙනි.

ආපන ශාලාවේ ‍දොර ජනෙල්වල එකම වීදුරුවක් හෝ නොමැත. ප්ලාස්ටික් පුටු හා මේස වෙනුවට ඉතිරිව තිබුණේ ප්ලාස්ටික් කැබලිය. ආපන ශාලාවේ සාලයේ නතර කොට තිබූ ආපන ශාලාවේ කළමනාකාරවරයාට අයත් මෝටර් රථයේ වීදුරු කුඩු පට්ටම් වී ගොසිනි.

උතුරේ තරුණයන් ඔවුන්ට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න විස¼දා ගන්නේ මේ අන්දමටය. ඔවුන් භාවිත කරන්නේ අවිය. ඒ අවි ස්වයංක්‍රිය අවි නොවූවත් මිනිසුන්ට තුවාල සිදු වෙයි. එසේත් නොමැතිනම් මරණයට පත් වෙයි.

යාපනයේ වැල්වෙට්ටිතුරේ පළාතේ නිවෙසකට රාත්‍රියේදී පැමිණියේ අවිගත් පිරිසකි. එතැන නිවැසියන් හඳුනාගත් අන්දමට තුන් දෙනකු සිට ඇත. කපා තුවාල සිදුකළ හැකි අවි රැගෙන නිවෙස තුළට පැමිණියේ දෙදෙනෙකි. නිවෙසේ සියලු බඩු බාහිරාදිය ඔවුන්ට නොදුනහොත් නිවෙසේ උදවිය කපා දමන බවට තර්ජනය කොට ඔවුහු නිවෙස කොල්ලකා තිබුණහ.

මේ අන්දමට නිවෙස් තුනක් කොල්ලකෑ එම තරුණයෝ තණ්හාවේ සීමාවක් නොමැතිව අලුයම් කාලයට පෙර හතරවැනි නිවෙසද කොල්ලකෑමට සූදානම් වූහ. රාත්‍රියේ බස් රථයකින් කොළඹ සිට යාපනයට පැමිණ එතැන් සිට මිතුරකුගේ යතුරුපැදියකින් නිවෙසට පැමිණෙමින් සිටි දෙදෙනකුට කොල්ලකරුවෝ මාට්ටු වූහ. කෑකෝ ගසන විට තුන් දෙනකු පලා ගියත් එක් අයකු අල්ලා ගැනීමට ඒ දෙදෙනාට හැකි විය.

වැල්ලවෙට්ටිතුරේ පොලිසියට අවිගත් අය හසුවූයේ ඒ අන්දමටය. යාපනයේ මාධ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයකුට පසුගිය 28දා අලුයම 3.45ට පමණ කඩු කිණිසි ප්‍රහාරයක් එල්ල වූයේය.

යතුරුපැදියකින් ගොස් පුවත්පත් තොගයක් අදාළ ආයතනයකට භාරදී ආපසු එමින් සිටියදී යාපනයේ කොළුම්පුතුරෙයි හන්දියේදී මේ ප්‍රහාරය එල්ල වී තිබිණි.
ප්‍රහාරයට ලක්වූ සෙල්වරාසා රාජේන්ද්‍රන් නමැත්තා 55 හැවිරිදිය. ඔහු පොලිසියට පවසා ඇත්තේ යතුරුපැදි පහකින් පැමිණි තරුණයන් දසදෙනකු තමන්ට පහර දෙමින් සියුම් ආයුධවලින් කපා දැමූ බවයි.

ප්‍රහාරයත් සමඟම ඔහු යතුරුපැදියෙන් ඇදවැටී තිබේ. ඉන්පසුව ඔහුට තරුණයන් පිරිස එක දිගටම පහරදී ඇත. බරපතළ ලෙස තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින්ය.

මේ සිදුවීම් කීපයම එක් සතියක් තුළ උතුරේ තැනින් තැන සිදුවී තිබිණි. ඒ සෑම ක්‍රියාවකටම අවි උපයෝගි කරගෙන තිබේ.

කලින් කී පරිදිම ඒ සියලු අවි ස්වයංක්‍රිය අවි නොවුණද පුද්ගලයන් මියගොස් ඇත. තුවාල ලබා ඇත. තුවාල ලබා පසුව මියගොස් ඇත.

මේ සිද්ධීන් දාමයට පෙරාතුව මීට වසර 1 1/2කට පමණ පෙර යාපනයේ මිනිසුන් බිය ගන්වමින් කඩුවලින් කපන පිරිසක් යාපනයේ සිටියහ.

ඔවුහු ක්‍රමයෙන් උතුරේ සෙසු පළාත්වලටත් පැතිර ගියහ.

ආරක්ෂක අංශ ඔවුන්ට විවිධ නම් පටබැඳ තිබිණි. කණ්ඩයම් වශයෙන් ක්‍රියාත්මක වූ ඒ අවිකරුවෝ උතුරේ මිනිසුන් විශාල පිරිසක් කපා දැමූහ. එහි තත්ත්වය කෙතරම් බරපතළ වූයේද කිවහොත් යතුරුපැදිවලින් රාජකාරි කටයුතුවලට යමින් සිටි පොලිස් නිලධාරීන් කීප දෙනකුද මේ අවිකරුවන් විසින් කපා දැමිණි.

අවිකරුවන් ඇල්ලීමට සිටි පොලිස් නිලධාරීන් තුවාල ලැබූවත් ඒ අවිකරුවන්ගෙන් විශාල පිරිසක් පොලිස් ඇසට වැලි ගසමින් තවමත් සැඟව සිටිති.

වරින් වර ක්‍රියාත්මක වන්නේ ඒ අවිකරුවන් විය හැකිය. නමුත් ඔවුන්ගේ අවි මිනිසුන්ට පෙනෙන අන්දමට රැගෙන නොයන නිසා පොලිසියට නොව සාමාන්‍ය මිනිසුන්ටද ඒ අවිකරුවෝ හඳුනාගත නොහැකිය.

වසර 30ක්ම උතුරු පළාත තුළ ක්‍රියාත්මක වූයේ අවිගත් සංස්කෘතියකි. අවියේ බලයෙන් එදා උතුරේ බොහෝ අවශ්‍යතාවන් අවි ගත්තවුන් විසින් ඉටු කරගන්නා ලදී. වෙනසකට ඇත්තේ මේ කාල වකවානුවේදී උතුරේ බිහි වී සිටින අවිකරුවෝ එක දිගටම මූනිස්සම් පිටවෙන අවි භාවිත නොකිරීමත් රටෙන් කොටසක් වෙනම ඉල්ලා නොසිටීමත් පමණි.
නමුත් මේ අවිකරුවන්ටද යම් වුවමනාවක් ඇත. එය එසේ නොවන්නට අවි ගත්තන් පිස්සන් මෙන් උතුරේ හැසිරෙමින් යකා නටන්නේ නැත. කවුරුන් කෙසේ හෝ මේ අවිකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවත් ඔවුන් එකිනෙකාව කපා කොටා තුවාල සිදු කරන්නෙත් මරා දමන්නෙත් කවර කාරණයක් මතදැයි යන්න කිසිම නිලධාරියකුට මෙතෙක් පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වී ඇත.

ඇතැම් ආරක්ෂක නිලධාරීන් කියා සිටින්නේ මේ අවි ගත්තෝ අවි ගෙන ඇත්තේ මංකොල්ලකෑමට බවය. තවත් සමහරු කියා සිටින්නේ මේ අවිකරුවන්ගේ ප්‍රධාන තේමාව කප්පම් ලබා ගැනීම මිස වෙනත් අරමුණක් නොවන බවය. අවි ගත් කණ්ඩායම් මුලින් එකට කටයුතු කොට ඔවුන් කොටස්වලට ඛෙදී යෑමෙන් පසුව එකිනෙකාගෙන් පළිගැනීම සඳහා මේ අන්දමට හැසිරෙන බවටද උතුරේ ආරක්ෂක නිලධාරීන් අතර තවත් මතයක් පවතී.

මේ සියල්ලම මතවාදයන් හා හිතලු මිස අල්ලා ගත් අයගෙන් ලද සත්‍ය තොරතුරු නොවේ. අත්අඩංගුවට පත්වන අවිකරුවෝ කිසිවිටෙකත් ඇත්ත නොකියති. මේ දිනවල උතුරේ ආරක්ෂක අංශ නොමඟ යවමින් මහපොළොව හෑරීමට බොරු ඔත්තු සපයන්නේ වසර 30ක්ම උතුරේ අවි දරාගෙන සිටි පිරිසය. ඔවුන්ගේ අවි අතන ඇත. මෙතැන ඇත. යනුවෙන් කරනු ලබන ප්‍රකාශ මත දැන් කිලිනොච්චියේ හා මුලතිව් පළාතේ පමණක් නොව වවුනියාවේද ආරක්ෂක අංශ විසින් හාරන ලද ළිඳවල් මෙන්වූ වළවල් සංඛ්‍යාවේ කෙළවරක් නොමැත. හමුවුණු අවියක්ද නොමැත.

මේ දිනවල උතුරේ ක්‍රියාත්මක අවිකරුවන්ද ආරක්ෂක අංශවලට ඇදබාන්නේ පට්ට පල් බොරුය.

යාපනයේ කන්කසන්තුරේ වරායේ නැව් නවතා ඇති පළාතට පස් දෙනකු යාපනයේ මයිලිට්ටි පළාතෙන් හොර රහසේ ඇතුළු වීමට උත්සාහ කළේ පුපුරන ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟිනි. ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වූ පසුව ඔවුන් පැවැසුවේ මුහුදේ මසුන් මැරීමට ඔවුන් ගිය බවයි.

යාපනයේ මහා සාගරයේ ඔවුන්ට මාළු ඇල්ලීමට තිබුණේ කන්කසන්තුරේ වරායේ නැව් නවතා තිඛෙන ස්ථානයම පමණක්ද යන්න අද වන විට ප්‍රශ්නයකි. කෙසේ හෝ එම සැකකරුවන් පස්දෙනාම මේ වන විට ඇප මත නිදහස ලබා සිටිති.

වවුනියාව ඇටඹගස්කඩ මලයාපරත්තිකුලම ප්‍රදේශයේ බලපත්‍ර රහිතව තබාගෙන සිටි ඇමෝනියා කිලෝග්‍රෑම් 1,700ක්, ජෙලග්නයිට් කිලෝග්‍රෑම් 306ක්, ඩෙටනේටර 774ක් පසුගිය 24දා පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට පත් පුද්ගලයා කීවේ ගල් වළක ගල් කැඩීමට මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙන ආ බවය.

අත්අඩංගුවට පත් අවිකරුවන් කියන්නේ මෙවන් රට පටලවන කතාය.
ඔවුන් උතුරේ අවි අතට ගෙන පුද්ගලයන් කපා කොටා තුවාල සිදු කරන්නේත් මරා දමන්නේත් මන්දැයි යන කාරණය මෙතෙක් හෙළිව නොමැති නිසා මේ තත්ත්වය ඉතාම බරපතළය.

මේ අවස්ථාවේදී උතුරේ ආරක්ෂක අංශවලට ඉතා ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්න දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ උතුරේ අවිගෙන සිටින්නවුන් වහාම අත්අඩංගුවට ගැනීමය. දෙවැන්න වන්නේ මේ අවිකරුවන් අවි ගෙන සිටීමට ප්‍රධාන හේතුව කුමක්ද යන්න ඉතා පැහැදිලිව අනාවරණය කර ගැනීමයි.

මෑතකදී මේ පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ ප්‍රධානියකු සමඟ සාකච්ඡා කරන විට ඔහු කියා සිටියේ උතුරේ පමණක් නොව දකුණේද මේ අන්දමේ සිදුවීම් කොතෙකුත් සිදුවන බවයි.

ආරක්ෂක අංශ ප්‍රධානියාගේ ප්‍රකාශය සත්‍ය වන්නට පුළුවන. ඒ මන්දැයි කිවහොත් උතුරද ශ්‍රී ලංකාවේම කොටසක් බැවිනි. නමුත් දකුණේ තුවක්කුවකින් වෙඩි තැබීමට ස්වයංක්‍රිය ගිනි අවියක් භාවිත කිරීමට වඩා උතුරේ මිනිසකුට තුවාල සිදු කිරීමට දුනු පිහියක් භාවිත කිරීම ඉන් එහාට ගිය සිදුවීමකි.

මව්බිම පුවත් පත ඇසුරෙනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.