කරාපිටියේ දරුවන් දහතුනක් මියගියේ කාගේ වරදින්ද? මෙන්න ඇත්ත

ගාල්ල කරාපිටිය රෝහලේ නැවතත් මරණයේ සෙවණැලි ඇඬෙමින් තිබේ. ජීවිතය සමඟ පොරබදන කිරිසප්පයන් රැසක් මේ මොහොත වනවිට ජීවිතය හැර ගොස්ය. මිය යන ආකාරය සම්බන්ධව අදහසක් නැත. පසුගිය මාසය තුළ පමණක් කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කිරිකැටියන් දහතුන් දෙනෙක් හඳුනා නොගත් රෝගයකින් මිය ගිය ආකාරය පමණක් ඇසේ. මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී රෝහල් බලධාරීන් පවසනු ලැබුවේ පසුගිය දෙසතිය තුළ සිදුවූ ළදරු මරණ පහක් ගැන පමණි. මරණ සිදුවී ඇත්තේ ළදරු දැඩි සත්කාර ඒකකය තුළය.

මරණවලට හේතුව හඳුනා නොගත් වයිරසයකි. ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක දින කිහිපයකට පෙර මාධ්‍යට පැවසුවේ ළදරු මරණ කාරක වයිරසය පිළිබඳව නිශ්චිත අදහසක් නැති බවය.

නිල නොලත් ආරංචිමාර්ග පවසන ආකාරයට පසුගිය මාසයක පමණ කාලයේ සිදුවු ළදරු මරණ දහතුන පිළිබඳ මාධ්‍ය අනාවරණය රෝහල් පාලන අධිකාරිය තිගස්සවා ඇත. මේ නිසාම කරාපිටිය රෝහලේ පාලන අධිකාරිය පසුගිය අඟහරුවාදා රැස් වූයේය. අනතුරුව උද්ගත වී ඇති තත්වය පිළිබඳ ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ සාකච්ඡා කළේය.

කිරිසප්පයන්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ මේ අවාසනාව රෝහල තුළම නිර්මාණය වූ ඛේදවාචකයක ප්‍රතිඵලයක් වූ ආකාරය එහිදී හෙළිදරව් විය. මේ මොහොත වනවිට විකිරණ ශිල්පීන් සිටින්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයකය. ඔවුන් ළමා වාට්ටුවට පැමිණ රාජකාරි කරන්නේ නැත. එබැවින් දැඩි සත්කාර ඒකකගත කිරිසප්පයන් පවා එක්ස් රේ පරීක්ෂණවලට වාට්ටුව හරහා එක්ස් රේ ඒකකය වෙත රැගෙන යෑමට සිදුවී තිබේ. මේ නොදරුවන් වයිරස අවදානමට ලක්වීමට එක් හේතුවක් වී ඇති බව විශ්වාස කෙරෙන්නේ මේ නිරාවරණය වීමය. එමෙන්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකිරීමට තරම් දරුණු නොවූ රෝගී දරුවන් සිටින ස්ථානය මේ වනවිට භාවිත කරන්නේ ස්නායු භෞත චිකිත්සකවරුන්ය. මේ තත්ත්වය තුළ වඩාත් බරපතළ නොවන රෝගී තත්ත්වයන් සහිත නොදරුවන් රඳවා තබා ඇත්තේ ද දැඩි සත්කාර ඒකකයේය. දැඩි සත්කාර ඒකකය තුළ ඇති රෝගී ගනත්වය ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කළාදැයි සැකයකි.

කෙසේ වෙතත් මේ වනවිට දරුපැටව් දහතුන් දෙනෙක් අකාලයේ මිය ගොස්ය. මේ මරණවල වගකීම පිළිබඳ කිසිවකුට අදහසක් නැත. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනාරත්න තත්ත්වය පිළිබඳ බිය විය යුතු නැති බව කියයි. එය පාලනය කිරීමට සියලු පියවර ගෙන ඇති බව පවසයි. රෝගී නොවන දරුවන් දැන් රෝහලේ වාට්ටුවට ඇතුළුවීම වළක්වා ඇත්තේය. අමුත්තන් පැමි”ම සීමා කර ඇත්තේය. එය මේ වනවිට කරාපිටිය රෝහලින් වාර්තා වන ප්‍රායෝගික ආරක්ෂණ ප්‍රවේශයන්ය.

මියගිය දරුවන්ගේ ලේ සාම්පල කොළඹ යවලා තියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ දැනුවත් කරලා තියෙනවා. ආරක්ෂිත පියවර රැසක් අරගෙන තියනවා.ල වෛද්‍ය ජයම්පති සේනාරත්න කියන පසුබිම් කතාව ඒ තරම් සරල වුවත් යථාර්ථය බිහිසුණුය. හේතුව දකුණු පළාත පුරා ඉන්ෆ්ලුවන්සා වයිරසය පැතිරී ගොස් වසංගතයක් දක්වා වර්ධනය වීමේ අනතුරක් ඇති බව සෞඛ්‍ය අංශ විසින්ම නිවේදනය කර ඇති නිසාය. මේ බව නිවේදනය කරන්නේ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරියය.

ළදරුවන් බිලිගත්තේ ඉන්ෆ්ලුවන්සා වයිරසය ද?

ඉන්ෆ්ලුවන්සා රෝගකාරකයේ පහසු ගොදුරු ළදරුවන්ය. රෝහලේදී අබිරහස් ලෙස මිය ගිය දරුපැටවුන්ගේ මරණවලටත් ඉන්ෆ්ලුවන්සා වයිරසය හේතුවක් වී ඇති අයුරු දැන් වෛද්‍ය අංශ කියන්නේය.

ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා මේ සම්බන්ධව අප හා සංවාදයට එක්විය. ඔහුට අනුව කරාපිටිය රෝහලේ හඳුනා නොගත්තේ යැයි පැවසූ රෝගය දරුණු නිව්මෝනියා රෝගයකි. මේ දිනවල එම මාරක රෝගය දකුණු පළාත පුරාම පැතිරෙමින් පවතින ආකාරය ඔහු හෙළිදරව් කරයි.

මේ රෝගය පහුගිය මාස කීපය තුළ යම් මට්ටමකට තිබුණා. දැන් එය උච්ච තත්ත්වයට පත් වෙලා. මාතර හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවලින් රෝගීන් පැමිණෙනවා. දැනටමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවල රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන්ම ඉපදුණු දිනයේ සිට වයස අවුරුදු 03 දක්වා දරුවන්ට මේ රෝගී තත්ත්වයෙන් බරපතළ හානි වෙන්න පුළුවන්. දැනට අප විශ්වාස කරන පරිදි මේ රෝගය වයිරසයකින් ඇතිවන නිව්මෝනියා තත්වයක් නොව, ඉන්ෆ්ලුවන්සා සහ ඇඩිනො වයිරසවලින් ඇතිවන නිවුමෝනියා තත්ත්වයක්.ල

එසේනම් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතය සමඟ පොරබදමින් සිටි නොදරුවන් අනාරක්ෂිත ලෙස මේ වයිරසයට නිරාවරණය වී ඇත්තේ රෝහල් පරිශ්‍රයේදීය. ඔවුන් අනාරක්ෂිත ලෙස එම ආසාදිත වටපිටාවට නිරාවරණය කරන්නට සිදු වූ අමානුෂික හේතු අතර සෞඛ්‍ය සේවයේ වෘත්තීය ක්‍රියාමාර්ගත් ඇත්තේය.

දකුණු පළාතේ ඉන්ෆ්ලුවන්සා අවදානම

මේ වනවිට දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා වයිරසයෙන් ප්‍රධාන ලෙසම ආසාදිත කලාප තංගල්ල, කඹුරුපිටිය හා කරාපිටිය ය. එම ප්‍රදේශවලින් වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇත්තේය. වයිරසය පැතිරී යෑමේ අවදානම් කලාප හඳුනාගෙන ඇතැයි කියන්නේය. මාරක අවදානමට නිරාවරණය වී ඇත්තේ දකුණේ පාසල් පද්ධතිය ය. අවදානම සඳහා පෙර සූදානම ඇරඹූ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක පවසන්නේය.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ය. මේ වනවිට පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ පිළිබඳ ඔහු මෙසේ විස්තර කරන්නේය.

මේ රෝගයේදී කිවිසුම් යෑමේ වාර ගණන වැඩියි. උගුරේ තදබල වේදනාවක් එනවා. සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය හා උණ ගැනීම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයට ගොදුරු වූවකුගේ ලක්ෂණයි. ඒ වගේ රෝග ලක්ෂණ තිඛෙනවා නම් වහාම රජයේ රෝහලකට යන්න. නැතිනම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගන්න.

මොකද මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ආකාර තුනකට පැතිරෙනවා. ඉන්ෆ්ලුවන්සා වයිරසය, ඇඩිනෝ වයිරසය, නියුමොකොකල් බැක්ටීරියා තත්ත්වය යන ආකාර තුනට. මෙවර ඒ ආකාර තුනේම එකතුවක් දක්නට ලැඛෙනවා. දැනට රෝගීන් වැඩිපුර වාර්තා වන්නේ තංගල්ල, කඹුරුපිටිය හා කරාපිටිය ප්‍රදේශවලින්.

අප කියන්නේ මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න හැමෝම වගකීමකින් කටයුතු කරන්න. යම් කෙනෙකුට මේ රෝගය වැලඳී ඇතැයි සැක කරනවා නම් සෙනඟ ගැවසෙන තැන්වලින් ඉවත් වී සිටින්න. දරුවන් මේ රෝග ලක්ෂණවලින් පෙළෙනවා නම් ඔවුන්ව පාසල් යවන්න එපා. කිවිසුම් යෑමේදී හැකි උපරිම ලෙස මුඛය ආවරණය කරගන්න. උණ රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා. අපි උත්සාහ කරනවා මේ තත්ත්වය පාලනය කරන්න.ල පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රටට මේ වසංගත අවදානම ගැන කියන්නේ එසේය.

මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෛද්‍ය ඒ.ඩී.යූ. කරුණාරත්න මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.පී.ආර්.එස්. ඒන්ද්‍රසේන පවසන්නේ වයස අවුරුදු ‍දොළහට අඩු ළමුන් අතර රෝගය පැතිර යෑමේ වැඩිවීමක් ඇති බවය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උණ රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. තංගල්ල මූලික රෝහලෙන් එක් ඉන්ෆ්ලුවන්සා රෝගියෙක් වාර්තා වුණා.ල හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේය.

ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වාට අනුව මෙය ඉන්ෆ්ලුවන්සා හා ඇඩිනො යන වයිරසවලින් අතිවන නිව්මෝනියා තත්ත්වයකි.

ළමයින් මෙන්ම වැඩිහිටියනුත් මේ වෛරස් ආසාදනයට ලක්විය හැකියි. විශේෂයෙන්ම අවුරුදු 2ට අඩු ළමයින්ට මේ රෝග තත්ත්වය මාරාන්තිකව බලපානවා. වැදගත් වන්නේ රෝගය වළක්වා ගැනීම. අංක එක නිරෝගී දරුවන් මේ වයිරස් ආසාදනයට නිරාවරණය නොකිරීමයි. කිසිම රෝගී දරුවෙක් ඉන්න කලාපයකට නිරෝගී දරුවන් නිරාවරණය නොකළ යුතුයි. සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වෙත යෑමෙන් වැළකීම වැදගත්. කැස්ස හෙම්බිරිස්සාව, උණ, පාචන තත්ත්වයන් තියෙන දරුවන් පාසල් නොයවා ගෙදරම තබා ගැනීම වැදගත්. රෝගීන් බලන්න රෝහලට එන පිරිස අඩු කරගන්න අවශ්‍යයි. රෝග ලක්ෂණ පහළ වෙන අවස්ථාවේම ප්‍රතිකාර ගැනීම වැදගත්.

ළදරු මරණත් සමඟ සමාජ සංවාදයට ලක්වන දකුණේ ඉන්ෆ්ලුවන්සා අවදානම ගැන වෛද්‍යවරුන් අපට කියන කතාව එසේය. මේ අවදානම කළමනාකරණය කරගැනීමේ වගකීම ඇත්තේත් අපටය. අපේ දරුවන්ගේ ජීවිත අනතුරට ලක් නොකිරීමේ වගකීම ඇත්තේ අපේ අතේය. රටේ සංචාරක පරාදීසය දකුණු මුහුදු තීරයය. අපට වඩා ලෝකය ලෙඩ රෝග ගැන උනන්දුය. මුළු දකුණේම සමාජ ආර්ථික ව්‍යුහය ව්‍යසනයට ලක් කිරීමට මේ මාරක වසංගතයට හැකි බව අප තේරුම් ගත යුතුය. අපේ පැවැත්ම හා විනය අපේ ජීවිතය පිළිබඳ තීන්දු කරනු ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.