විල්පත්තුවේ අනවසර මුස්ලිම් වරු අයින් කරන්න ෆොන්සේකාට සහය දෙනවා

විල්පත්තු රක්ෂිතය කපා දමා මුස්ලිම් ජනතාව එහි පදිංචි කරන බවට ඇතැම් මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාර පිළිබඳව සොයා බලන ලෙස තමා නව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටින බවත් එසේ විල්පත්තු රක්ෂිතය තුළ මුස්ලිම් ජාතිකයින් පදිංචි වී සිටිත්නම් ඔවුන් ඉන් ඉවත් කිරීමට තමාද සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දක්වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

විල්පත්තුව සම්බන්ධයෙන් ඇතැම් ජාතිවාදී කණ්ඩායම් ,ඇතැම් ජනමාධ්‍ය ,රටේ ජනතාවගේ සහජීවනය බලාසිටීමට අකමැති පිරිස් වගේම ඩයස් පෝරාව බොරු ප්‍රචාර සමාජ ගත කරමින් ඉන්නවා.මේ කතාවල සත්‍ය අසත්‍ය භාවය රටට හෙළිකරන්න කියල මම අපේ අලුත් වනජීවී අමාත්‍ය ෆොන්සේකා මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමා දක්ෂ නායකයෙක් ඔහුට පුළුවන් වේවි මෙහි සත්‍යතාවය හොයාගන්න. විල්පත්තුව රක්ෂිතය ඇතුළෙ අඟලක් හරි විනාශ වෙලා තියෙනවනම් ,මුස්ලිම් ජාතිකයින් ඉඩම් අල්ලලා නම් ඔවුන් එලවන්න මමත් අමාත්‍යවරයාට මගේ සහය දෙනවා.

වසර තිහක් පුරා පැවැති යුද්ධයෙන් සිංහල වැසියන් මෙන්ම මුස්ලිම් ,ද්‍රවිඩ ජනතාවත් දැඩිලෙස දුක් වින්දා .විල්පත්තුව අවට ප්‍රදේශවල සිටි මුස්ලිම් වැසියන් කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණු පලිගැනීම් වලට ලක්වුණා. සිංහල හමුදාවලට මුස්ලිම් වැසියන් ඔත්තු ලබාදෙන බව පවසමින් පැය විසි හතරක් ඇතුළත ඒ ජනතාව තමන්ගේ වාස භූමිවලින් එලවා දැමීමට කොටි ත්‍රස්තවාදීන් කටයුතු කළා. රිෂාඩ් බදියුදීන් කියන මමත් ඒ ජතනාවත් එක්ක අනාථ කඳවුරුවල තමයි ඊට පස්සෙ දිවි ගෙව්වේ.

යුද්ධය අවසන් වීමත් සමඟ ඒ ජනතාව තමන්ගේ මුල් ගම්බිම් වලට පදිංචියට ගියා.ඔවුන් තමන්ගෙ ඉඩකඩම් සුද්ද පවිත්‍ර කළා.මේවා බලන් ඉන්න බැරි ජාතිවාදීන් පිරිසක් විල්පත්තුව කපනවා කියල ඛෙරිහන් දෙනවා.මේ මිනිස්සු නැවත පදිංචිකිරීමට මට යුතු කමක් තියෙනවා.බංකොලොත් දේශපාලන න්‍යායන්ට වැඩකරන පිරිසක් මේ කාරණයෙදී මටත් චෝදනා එල්ල කරනවා. ඒ නිසා මම නව වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ විල්පත්තුව සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳ සොයා බලා එහි නිවැරදි තත්වය රටට හෙලිකරන්න කියලා.

අද දෙරණ වෙතිනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *