පරිගණක දැකලවත් නැති දරුවන්ට කළු ලෑල්ලෙන් පරිගණක මැවූ සැබෑම ගුරුතුමා

චිංගීස් අයිත්මාතව් ලියූ ”ගුරු ගීතයේ” දුයිෂෙන් මට වීරයෙක් විය. පාසලක් ගැන අසා නැති ගමක දරුවන්ගේ දෑස් පාදන්නට ඔහු තනිව කළ සටන ඔහුව වීරයකු ලෙසින් අප සිත් තුළ සදාකල් සටහන් කරන්නට ප‍්‍රමාණවත් වීය. කලකට පසුව දුයිෂෙන් බ`දුම අපූර්ව ධෛර්යයකින් යුතුවූ ගුරු තරුවක් මට මුණ ගැසිණ. ඒ තවත් පොතකින් නම් නොවේ. අන්තර්ජාලයෙනි.ඔහු රිචඞ් ඇපියාහ් අකෝටෝය. කවුරුත් ඔහුව දැන සිටියේ ඔහුගේ ෆෙස්බුක් ගිණුමේ නම වන ඔවුරා ක්වාඩෝ නමිනි. ඔහු ඝානාවේ ඈත දුෂ්කර ගමක උපන්නෙකි. කලක් සංචාරක හෝටලයක කළමනාකරුවකු ලෙසින් සේවය කළ ඔහු ඒ රැුකියාවෙන් අස් වී නැවතත් තම උපන් ගමට ගියේ වෙනත් රැුකියාවක් කරන්නටය.

අලූත් රැුකියාව ලෙස ගුරු වෘත්තිය තෝරාගන්නටද, ගුරුවරයකු වී ගමේ පාසලට එන්නටද ඔහු තීරණය කළේය.
රිචඞ් ඛෙටනාසිහි ප‍්‍රාථමික පාසලට ගුරුවරයකු ලෙසින් ආවේ එලෙසය.

දකුණු අප‍්‍රිකාවේ අති දුෂ්කරම ගම්මානයක පාසලක් කෙබ`දුදැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මුළු පාසලටම තිබුණේ එකම එක ගොඩනැගිල්ලකි. කටු සිමෙන්තිය බිමට දැමූ මේ ගොඩනැගිල්ලේ කබල් ඩෙස් බංකුවල හි`දගෙන අකුරු ඉගෙන ගන්නා සිසුන් නිරතුරුව දූවිල්ලෙන්ද මැසි මදුරුවන්ගෙන්ද බැට කෑහ. අබලන් වහලද, හරි හැටි නිම නොවුණු බිත්තිද අතර ඊට වඩා පහසුකමක් නොතිබීමද පුදුමයක් නොවේ.

එබ`දු පාසලකට පරිගණක තාක්ෂණය යනු සිහිනයක් විය. පාසල ආරම්භ වුණු තැන පටන්ම පාසලට පරිගණකයක් තිබී නැත. ගුරුවරුන්ටවත් පාසලටවත් පරිගණකයක් නැති පාසලක සිසුන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීම ගැන සිතන්නේවත් කොහොමද.?

එහෙත් ඝානාවේ ප‍්‍රාථමික පාසල් අධ්‍යාපනයේ විෂය මාලාවේ පරිගණක හා තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයකි. උසස්පෙළට යන්නට නම් සාමාන්‍යපෙළදී පරිගණක සමත්වීම අනිවාර්යම විය. එහෙත් ඒ අනිවාර්ය විෂයය සමත් වෙන්නට ඛෙටනාසි පාසලේ සිසුන්ට හැකියාවක් තිබුණේ නැත. එනිසාම ඒ පාසලේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද අහිමිව ගියේය. වසර හයක් තිස්සේ ඛෙටනාසි පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය ඒ සීමාවෙන් නිමා විය. පරිගණක තාක්ෂණ විෂයෙන් සමත් වී ඉහළ අධ්‍යාපනයට යන්නට සමත් වූයේ නම් ඒ එහෙමත් දරුවෙකි. එසේ සමත් වූයේත් දෙමාපියන් විසින් ඒ දරුවන්ව පෞද්ගලික පරිගණක පන්තිවලට යවා පරිගණක විෂයය ඉගැන්වූ බැවිනි. ඒත් ඒ ගම්මානයේ සෙසු දෙමාපියන්ට දරුවන්ව පරිගණක පන්තියකට යැවීම දැරිය නොහැකි වියදමක් විය. පාසල මෙන්ම ඒ ගම්මානයද එතරම්ම දුප්පත් වූ බැවිනි.

රිචඞ් මේ දුප්පත් පාසලට එන අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයට අත්වන දුක්බර ඉරණම වටහා ගත්තේ මේ පාසලට ගුරුවරයකු ලෙසින් පත්ව ආ මුල් දින කීපය තුළදීමය. පාසලට පරිගණක දෙන්නැයි රජයට ඉල්ලීම් කිරීම කිසිදු පලක් නොවන දෙයකැයි රිචඞ් දැන උන්නේය. ඒ බැව් දැන දැනම කීපවරක් ඔහු රජයෙන් මේ සදහා ඉල්ලීම්ද කළේය. ඔහු සිතූ පරිදිම රජයෙන් ඔහුගේ ඉල්ලීමට කිසිදු ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත.

රිචඞ් එහෙම ලේසියෙන් පසුබසින්නෙකු නොවේ. පරිගණකයක් නැතත් ඔහු පරිගණක විෂයය පාසලේ දරුවන්ට ඉගැන්වීමට පටන් ගත්තේය. කිසි දිනක පරිගණකයක් දැක නොතිබුණු දරුවන්ට පරිගණක විෂයය ඉගැන්වීම ලේසි පහසු කාර්යයක් නොවීය. සියලූ දෙයම රූප සටහන් ඇසුරෙන් පැහැදිලි කිරීමට ඔහුට සිදු විය.

සියලූ පරිගණක විෂයයන් පැහැදිලි කළ ඔහුගේ පරිගණක තිරය වූයේ හුණුවලින් අවපැහැ වුණු රළු කළු ලෑල්ලයි. MS Word, MS Excel වැනි පරිගණක යෙදුම් පිළිබදව ඔහු ඉගැන්වූයේ ඒවායේ සියලූ තිර සටහන් කළු ලෑල්ල මත අදිමිනි. ඒ සියල්ල ඔහු ඉතා නිවැරදි ලෙසින් කිසිදු අඩුපාඩුවක් නැතිව කළු ලෑල්ල මත ඇන්දේය. එපරිද්දෙන්ම ඒවා ඉතා නිවැරදිව සරලව තම සිසුන්ට පැහැදිලි කර දුන්නේය.

ඔහුගේ මේ අපූරු ක‍්‍රමයෙන් ඔහු මයික්‍රොසොෆ්ට් ඔෆිස් යෙදුම් පමණක් නොව පරිගණකයක සියලූ කොටස් ගැනද, පරිගණක මෙහෙයුම් පද්ධති operating System ගැනද හො`ද දැනුමක් තම සිසුන්ට ලබා දුන්නේය.
රිචඞ් දරුවන්ට මෙලෙසින් පරිගණක විද්‍යා විෂයය ඉගැන්වුවද ඔහු පාසලේ පරිගණක විද්‍යා ගුරුවරයා නොවේ.

ඇත්තෙන්ම ඒ පාසලට පරිගණක විද්‍යා විෂය උගන්වන ගුරුවරයකු සිටියේද නැත. පරිගණකයක් නැති පාසලකට පරිගණක විද්‍යා ගුරුවරයෙකු කුමටදැයි රජයෙන් සිතුවා විය හැකිය. ඉතින් රිචඞ් තමාට පැවරුණු අනෙකුත් විෂයයන් නොපිරිහෙලා උගන්වන අතරම දිනපතාම අමතර විෂයයක් ලෙසින් පාසලේ දරුවන්ට පරිගණක විෂයයද ඉගැන්වූයේය.

ඉන් පසුව… කිසි දිනක පරිගණකයක් දැක නොතිබුණු, පරිගණකයක යතුරු පුවරුවකට අත තබා නොතිබුණු සිසු දරුවන් පරිගණක තාක්ෂණ විෂයය සමත් වෙන්නට විය.

මේ නිහ`ඩ විප්ලවකරුවා ගැන ලෝකය දැනගත්තේ කිසිවෙකු විසින් ෆෙස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පළ කළ ඔහුගේ අපූරු ඉගැන්වීම් ක‍්‍රමයේ පින්තූරයක් නිසාය. ෆෙස්බුක් අඩවියෙන් මේ පින්තූරය දුටු කැමරූන්හි තාක්ෂණ ව්‍යවසායිකාවක වූ රෙඛෙකා ඊනොන්චොන්ග් ගුරු වෘත්තියට මේ මිනිසාගේ ඇති අරුම පුදුම කැපවීම ගැන පැහැදුණාය. ඇය මේ පින්තූරය මයික්‍රොසොෆ්ට් ආයතනයේ අප‍්‍රිකානු ශාඛාවේ ට්විටර් ගිණුමට යොමු කරමින් මේ පාසලට පරිගණක පහසුකම් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළාය.

මයික්‍රොසොෆ්ට් ආයතනය රෙඛෙකාගේ ඉල්ලීමට ඇහුම්කන් දී තිබිණ. පාසලට පරිගණක පහසුකම් පමණක් නොව මේ සා කැපවීමෙන් පරිගණක විෂයය දරුවන්ට උගන්වන රිචඞ්ට වෘත්තීමය පරිගණක විද්‍යා ගුරුවරයෙකු වෙන්නට අවශ්‍ය පාඨමාලාවන්ද මයික්‍රොසොෆ්ට් ආයතනය මගින්ම සපයා දෙන්නට එම ආයතනය පොරොන්දු විය.

ඒ අතරම මේ පින්තූරය දුටු ඉන්දියානු පරිගණක තාක්ෂණ සමාගමක්ද මේ පාසලට පරිගණක කිහිපයක් හා පාසලේ සිසුන්ට පරිගණක විෂයය උගන්වන්නට පොත් පත්ද පරිත්‍යාග කර තිබිණ.

අනිවාර්ය විෂයයක් සමත් වෙන්නට නොහැකිව අතරමගින් අධ්‍යාපනය නවත්වන්නට සිදු වුණු ඛෙටනාසි පාසලේ දරුවන්ද දැන් ඉතින් ඉහළට ඉගෙන ගනු ඇත. ගුරු ගීතයේ අල්තීනායි වැනි උගතුන් මේ දරුවන් අතරින්ද දිනෙක බිහිවනු ඇත. ඒ වෙනසට පාරකැපූ ගුරු වීරයා රිචඞ්ට මගේ ගෞරවය මේ ලිපියෙන් පිළිගන්වමි.

නිම්මි මුදිතා හේරත්

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *