ජංගම දුරකථන බැටරියකින් අලි වැටක් ක්‍රියාත්මක කල මනම්පිටියේ තරුණයා

ජංගම දුරකතන බැටරියක් මඟින් අලි ආරක්ෂක විදුලි වැටකට අවශ්‍ය විදුලිය ක්‍රියාත්මක කිරීමේ නව උපකරණයක් නිපදවීමට දිඹුලාගල මනම්පිටිය නගරයේ තරුණයකු සමත් වී ඇත.

අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ සිදුකළ අධ්‍යයනයකින් පසු අක්කර 50ක් වටා දිවෙන විදුලි වැටකට ඉකුත් 19 වැනිදා මෙම විදුලි ක්‍රියාත්මක උපකරණය සක්‍රිය කර සාර්ථකව නිපදවා ඇත්තේ මනම්පිටිය දුම්රියපොළ ඉදිරිපිට පදිංචි 30 වියැති එම්. මහේෂ් තරංග දේශප්‍රිය යන අයයි.
අක්කර 50ක් දක්වා ඇති ගොවිපොළ ගෙවතු වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිකර ඇති විදුලි වැටට අවශ්‍ය විදුලිය මෙම උපකරණය මඟින් ඉතා පහසුවෙන් ඕනෑම ගොවි මහතකුට සවිකරගත හැකි අතර එමඟින් වාසි රැසක්ද ලැඛෙන බව දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.
කිලෝ එකක් පමණ බර මෙම විදුලි උපකරණය ඕනෑම ජංගම දුරකතන චාජරයක් මඟින් චාජ් කරගත හැකි අතර මෙමඟින් කිලෝවොට් 9ක විදුලි ධාරිතාවක් විදුලි වැටේ ගමන් කරවීමට හැකියාව ඇත.

මා නිපදවපු මේ විදුලි උපකරණය ඕනෑම ජංගම දුරකතන චාජරයකින් චාජ් කරගන්න පුළුවන්. මේක හදලා තියෙන්නේ ජංගම දුරකතන බැටරියක් වගේ විදුලි උපකරණ කීපයකින්. මම අද දිනයේ මනම්පිටියේ මහවැව විදුලි වැටකට මේක සම්බන්ධ කළා. අක්කර 50 ගොවිපොළක් වටා කිලෝමීටර් 12ක් විතර දුරට ගමන් කරන ඒ විදුලි වැටට මේක සම්බන්ධ කළාම කිලෝවොට් 7.7ක් ගමන් කරනවා. ඕනෑම අයකුට මේ උපකරණය ගොවිපොළට, කුඹුරට ගෙන යන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් සවිකරගන්නත් පුළුවන්. කොළ අතු වැදුණාම විදුලිය විසන්ධි වෙන්නේ නැහැ. එක ජංගම දුරකතන බැටරියක විදුලිය අඩුවුණාම මේකේ තවත් බැටරියකින් කරන්ට් එක ගන්න පුළුවන්. මම අවුරුදු 1 1/2ක් මේ ගැන අධ්‍යයනය කළා. මා දන්නා තරමින් ලංකාවේ ලෝකයේ මෙතෙක් මේ වගේ සරල විදුලි උපකරණයක් නිපදවලා නැහැ. මම මේක හැදුවේ ලංකාවේ අසරණ ගොවි මහතුන් වන අලි නිසා විඳින දුක් ගැන හිතලා. වන අලි ගෙවතුවලට, කුඹුරුවලට පැනලා සිදුකරන හානිය මේ සරල උපකරණයෙන් වළක්වා ගන්න පුළුවන්. ඒ ගැන මම අත්හදා බැලුවා. මේකෙන් අලියාටත්, මිනිසාටත්, පරිසරයටත් කිසිම හානියක් නැහැ. මම මුළින්ම අක්කර 05ක විතර ගෙවත්තකට මේ විදුලි උපකරණය සවිකළේ. ඒ සාර්ථක වීමෙන් අක්කර 50 දක්වා වැඩිකර ගත්තා. මේ උපකරණය ඉතා සරලයි. කිලෝ එකයි බර. ඕනෑම ගොවි මහතකුට විදුලි වැටට ඉතා පහසුවෙන් මේ උපකරණය සම්බන්ධ කරගන්න පුළුවන්. මේකේ ගොඩක් වාසි තියෙනවා. මගේ එකම ඉල්ලීම මේක කරගෙන යන්න මට පේටන්ට් බලපත්‍රය ඉක්මනින් ලබාදෙන්න ජනාධිපතිතුමා මැදිහත් වෙන්න කියන එකයි. මහේෂ් තරංග දේශප්‍රිය මහතා එලෙස කීවේය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *