මුළු ගමක් ගම අත් හැර යද්දී තනියම ගමට වී වනගත භික්ෂුන්ට වත් පිළිවෙත් කරන වෙද මහතා

ජීවත්වීමට හැකි කිසිදු පහසුකමක් නොමැතිවීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් මේ වන විට හුදකලා ගමක් බවට පත් වී තිබේ.
මීමුරේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් අතිදුෂ්කර ගමක් වන දන්දෙණිකුඹුර අද වන විට එක් පුද්ගලයෙකු පමණක් ජීවත් වන ගම්මානයක් බවට පත්ව ඇත්තේ ජනතාවට ජීවත්වීමට හැකි ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති වීම නිසාය.
දැනට වසර පහළොවකට පෙර පවුල් තිහක් පමණ ජීවත් වී ඇති මෙම ගම්මානයේ ජනතාව මෙහි ඇති අතිදුෂ්කර බව හේතුවෙන් ක්‍රමයෙන් ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශවල පදිංචි වී තිබේ. ප්‍රවාහන ක්‍රමයක් නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් වන අතර ගම්මානයේ ජනතාවට ගමන් කිරීම පයින් ද භාණ්ඩ ප්‍රවාහනය ගවයන් බැඳී තවලම් පිට සිදු කිරීමට සිදුව තිබුණි.
මෙම ගම්මානයට මාර්ග, පාසලක්, රෝහලක්, වෙළෙඳසැල් වැනි යටිතල පහසුකම් නොමැති අතර ජනතාව එම පහසුකම් වෙනුවෙන් කිලෝමීටර් ගණනාවක් ගංගා තරණය කරමින් වන දුර්ග ඔස්සේ පයින් ගමන් කළ යුතුව ඇත.
දන්දෙණිකුඹුර ග්‍රාමයේ සිට ගලමුදුන ගමට කිලෝමීටර් තුනක්, මීමුරේ ගමට කිලෝමීටර් පහක් සහ සුළුගුණේ ගම්මානයට කිලෝමීටර් අටක් පයින් ගමන් කළ යුතුවේ. සෑම මාර්ගයකදීම ජල පහරක් හමුවන අතර සුළුගුණේ ගම්මානයට යන විට හීන් ගඟද මීමුරේට ගමන් කරන විට දිවිගොල්ලේ ඔය ද තරණය කිරීමට ගම්වාසීන්ට සිදුව ඇත.

හෙල්මළු ක්‍රමයට වගා කරන අක්කර සියයකට ආසන්න වෙල්යායකින් යුතු වූ දන්දෙණිකුඹුර ගම්මානයේ වෙල්යාය වසර පහළොවකින් වගා නොකිරීම නිසා මේ වන විට සම්පූර්ණයෙන්ම පුරන් වී කැලෑවෙන් වැසී යමින් පවතී. ගම්මානයේ තිහක් පමණ වූ නිවාස සියල්ලම විනාශ වී නටඹුන් බවට පත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ එක් නිවාසයක් පමණි. ඒ දැනට එම ග්‍රාමයේ ජීවත් වන පාරම්පරික හෙළ වෙද මහතෙකු වන මහරගෙදර හීන්බණ්ඩා වෙද මහතාගේ නිවස වේ.
ගමේ කිසිම පහසුකමක් නැහැ. දරුවන් පාසලකට යවන්න කිලෝමීටර් පහක් පමණ පයින් යන්න ඕනි. මහ වැසි වැස දිවිගොල්‍ලේ ඔය, හීන් ගඟ උතුරන විට ගගෙන් යන්න බැරි නිසා මාසයක් වුවත් වතුර අඩුවන තුරු දරුවන් පාසල් නොගොස් නිවෙස්වලට වී සිටිනවා. ගඟ තරණය කිරීම සඳහා ගස් ආධාර කොට වැල් පාලම් සකස් කර තිබුණත් අද ඒ සියල්ල දිරාපත් වෙමින් තිඛෙනවා. ගම්මානයේ සියල්ලන්ම ගම අත හැර මීමුරේ, සුළුගුණේ, ගලමුදුන, හෙට්ටි‍පොල ගොඩඋල්පත වැනි ගම්මානවල පදිංචියට ගියා. මම පමණයි ගමේ සිටින්නේ.
නමුත් වෙදකම් කර ගැනීම සඳහා මීමුරේ, ගලමුදුන, සුළුගුණේ වැනි ගම්මානවල ජනතාව තවමත් මා සොයා පැමිණෙනවා. වන ගත දුෂ්කර මාර්ග ඔස්සේ රෝගීන්ට පැමිණිය නොහැකි අවස්ථාවලදී මම රෝගීන් වෙත ගොස් ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර සඳහා මුදල් අය කරන්නේ නැහැ. මගේ අප්පච්චි කළෙත් වෙදකම. අද මම කරන්නේත් අප්පච්චිගෙන් උගත් වෙදකම. මගේ පුතුන් දෙදෙනා ද අද ඒ පාරම්පරික වෙදකම් කරනවා. පුතුන් පදිංචිව ඉන්නේ මීමුරේ. ඔවුන් සතියකට වරක් මා බලන්න දන්දෙණිකුඹුරට එනවා.

රක්ෂිතයේ භාවනායෝගීව වැඩ වසන භික්ෂුන් වහන්සේ සඳහා දානය ලබාදීම මගේ ප්‍රධාන කාර්යයක්. සෑම දිනකම උදෑසන මා ඒ කාර්යය සිදු කරනවා. ඇතැම් අවස්ථාවලදී මමත් භාවනා කරනවා.
අපේ අප්පච්චි, මුත්තා ආදීන් ජීවත් වුණේ මෙම ගමේ. මම ජීවත්වන්නේත් මැරෙන්නේත් මේ ගමේ. ගම අතහැර යන්න මට අදහසක් නැහැ. නමුත් අද ගම කැලයෙන් යටවෙනවා. ගම වටේටම රක්ෂිත වනාන්තර. ගමේ කිසිදු කුඹුරක් අද අස්වද්දලා නැහැ. හේන් ගොවිතැන සිදුවන්නේ නැහැ. විහාරස්ථානයේ, බණ්ඩාර දෙවියන්ගේ දේවාලයත් අද ගරා වැටිලා. පැරණි නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. කුඹුරු තිබුණු තැන් පමණක් අද ඉතිරිව තිඛෙනවා. ගම්මානයේ සිටි මී ගවයන් අද කුළු ගවයන් බවට පත් වෙනවා. ‍පොල් ගස් අලින් පෙරළනවා.
ගම දියුණු කිරීමට බලධාරීන් කිසිදු උත්සහයක් දැරුවේ නැහැ. මහනුවර දිස්ත්‍රික්කයත් මාත‍ලේ දිස්ත්‍රික්කයත් යා කළ හැකි මාර්ගයක් මේ ගම්මානය හරහා ආරම්භ කළ හැකියි. දැනටමත් කිවුල්වාඩියේ සිට බතලවත්ත දක්වා මාර්ගයක් කපා අවසන්. එම මාර්ගය මීමුරේ සිට බතලවත්තට සම්බන්ධ කර ඉදිකරන්නේ නම් ජනතාවගෙන් තොර වුණු දන්දෙණිකුඹුර ගම්මානය යළි ජනාවාස සහිත ගම්මානයක් බවට පත් කළ හැකියි. ගමෙන් ගිය පදිංචිකරුවන් යළි ගමට පැමිණෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

ඡන්දය ඉල්ලමින් දේශපාලනඥයන් මේ ගමට ආවා. ‍පොරොන්දු රැසක් අපට ලබා දුන්නා. නමුත් කිසිදු ‍පොරොන්දුවක් ඉටු කළේ නැහැ. ඔවුන් යළි ගමට පැමිණියේත් නැහැ. ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය එනවා. එවිට දේශපාලනඥයන් මා සොයා යළි දන්දෙණිකුඹුර ගමට පැමිණේවි.
බලධාරීන්ගේ අවධානය නොමැති නිසා දන්දෙණිකුඹුර ගමේ ඉන්නේ මා පමණයි. මේ වන විට මේ ගම පමණක් නොව මීට නුදුරු ඉලුක්හේන, කැකලවත්ත ගම්මාන ද ජනශුන්‍ය ගම්මාන බවට පත්ව තිඛෙනවා යැයි මහරගෙදර හීන්බණ්ඩා වෙද මහතා (70) ප්‍රකාශ කළේය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.