පානම ගමේ සිංහලයන්ට මුස්ලිම් බලධාරීන් වතුරත් නොදී ඉන්න හැටි

පානම සිංහලයන්ට මුස්ලිම් බලධාරීන් කරන තිරිසන් වැඩ – නැගෙනහිර සහජීවනය උතුරයි 

නැගෙනහිර කෙළවරේ පිහිටි එකම සිංහල ගම පානමයි. පසෙකින් යාල, කුමන සහ අනෙක්‌ පසින් ලාහුගල රක්‍ෂිතයටත් තවත් පසෙකින් මහ මුහුදටත් මැදි වූ පානම හුදෙකලා ගම්මානයකි. සිංහල, දෙමළ මිශ්‍රිතයන් ජීවත් වන පානම ගමේ මුසල්මානුවෝ නැත. එහෙත් පානම ගම පාලනය වන්නේ මුස්‌ලිම් බලාධිකාරිය යටතේය. එහෙයින් පානම සිංහල ගමට කෙණහිලිකම් ඕනෑවටත් වැඩිය.

මේ වන විට පානම වැසියන් දැවෙන ප්‍රධානම ගැටලුව බීමට පිරිසිදු ජලය නොමැති වීමය. කාලයක සිට පවතින පානීය ජල ගැටලුව විසඳීමට පානම රෝහල ඉදිරිපිට ඉදිකළ ජල ටැංකිය දැන් මුල් අදින ගානය. පානම හතර දිග්බාගයේම එලූ ජල නළවල තවමත් දිය සීරාවක්‌ නැත. පානම මිනිස්‌සු පිරිසිදු දිය බිඳක්‌ සොයාගෙන හැතැප්ම ගණන් දුර ඇවිදිති. නැවුම් ජල නළ පොළවට පස්‌ වන අතරේ පානම මිනිස්‌සු පිපාසයට කඳුළු බොති. දිය බිඳක්‌ ඉල්ලා නිලධාරීන් ඉදිරියේ හඬති. එහෙත් පිපාසයෙන් හඬන ඒ මිනිසුන් ඉදිරියේ නිලධාරීන්ගේ හදවත් තෙත් නොවේ. පානම ගම්මු දිනෙන් දින ජල ගැටලුවෙන් පීඩා විඳිති. පසුගිය දිනක අපි පානම වැසියන් අතරට ගියෙමු. ඒ පිපාසිත මිනිස්‌සු ජල ගැටලුව මෙන්ම ඔවුන් දැවෙන ගැටලු කිහිපයක්‌ම අපට කීහ. මෙතැන් සිට පෙළගැසෙන්නේ පානම පිපාසිත මිනිසුන් අපට කියන කතාවය.

ඉස්‌සර අපේ ගමේ වතුර මුතු කැටය වගේ පිරිසිදුයි. අවුරුදු දහයකට විතර උඩ ඉඳලා තමයි ළිංවල මළකඩ මතුවෙන්න පටන් ගත්තේ. දැන් නම් උල්පත් ජලය කටකට ගන්න බෑ. මළකඩ රහයි. මැටි දිය කරලා වගෙයි…ල එසේ කතාවට ප්‍රවේශය ලබාගත්තේ ප්‍රදේශයේ දැනමුත්තෙකු වූ අබේසූරියයි. ඔහුට වයස අවුරුදු පනස්‌ නවයකි. තවමත් හොඳ ගොවියෙකි. ප්‍රදේශයේ දරු, දැරියන්ගේ නැණපහන් දහම් අධ්‍යාපනයෙන් ආලෝකවත් කිරීමට ඔහු දහම් පාසල් ගුරුවරයෙක්‌ ලෙසද කටයුතු කරන්නේය. නැවතත් අපි අබේසූරියගේ කතාවට සවන් දී සිටිමු.

ගමේ මිනිස්‌සු එකතු වෙලා උල්පත් වතුර බොන්න බෑ කියලා ජලසම්පාදනයට දැනුම් දුන්නා. ඊට පස්‌සේ ගමට වතුර ඛෙදාදෙන්න කියලා මුල්ලේවෙල පිට්‌ටනියේ නළ ළිං කිහිපයක්‌ ගැහුවා. ගමේ වතුර නැත්තටම නැති වෙයි කියලා බයේ නළ ළිං ගහනවට ගමේ විරෝධයක්‌ මතු වුණා. ඊට පස්‌සේ නළ ළිං ගහන එක නතර කරලා නාවල්ආරුවෙන් වතුර දෙන්න තීරණය වුණා. ඒත් නාවල්ආරුවේ වතුර දුන්නේ උල්ලට විතරයි. අපේ ගමට දුන්නේ නෑ. පස්‌සේ පෞද්ගලික ආයතනයක්‌ මැදිහත් වෙලා 2006 අවුරුද්දේ පානම දකුණු කොටසේ ටැංකියක්‌ ගහලා වතුර දෙන්න පටන් ගත්තා. ඒකෙනුත් වතුර දෙන්න පුළුවන් වුණේ ඒ පැත්තට විතරයි. කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය හරහා තමයි ජල ව්‍යාපෘතිය කරගෙන ගියේ. අවුරුදු දෙකක්‌ හරි අපූරුවට වැඩේ කෙරුණා. ඒත් මැෂින් හරිහැටි නඩත්තු කෙරුණේ නෑ. අවුරුදු දෙකහමාරක්‌ විතර යනකොට යන්ත්‍ර අක්‍රීය වෙලා වතුර ඛෙදාහරින එක ඇණහිටියා. ඊට පස්‌සේ කුඩුම්බිගල පන්සලේ නායක හාමුදුරුවෝ මැදිහත් වෙලා වතුර මෝටරයක්‌ දීලා ආයෙමත් ජලය ඛෙදාහරින්න පටන් ගත්තා. ඒකත් මාස හයකින් විතර නතර වුණා. ඊට පස්‌සේ ගමේ මිනිස්‌සු උද්ඝෝෂණ කරලා වතුර ප්‍රශ්නය රටට කියනකොට පානම රෝහල ඉදිරිපිට විශාල ටැංකියක්‌ ගැහුවා. දැන් ඒ ටැංකිය හදලා අවුරුදු දෙකක්‌ විතර වෙනවා. ඒත් ටැංකියෙන් ගමට වතුර ඛෙදන්නේ නෑ…ල

අපේ ගමට අල්ලපු ගම පොතුවිලටත්, උල්ලටත් මේ වතුර ප්‍රශ්නය තියෙනවා. ඒත් ඒ ගම්මවලට ජාතික ජල සම්පත් මණ්‌ඩලය නාවල්ආරුවෙන් වතුර දෙනවා. මදි පාඩුවට අපේ ගමට වතුර දෙන්න හදපු ළිංවලිනුත් ඒ ගම්වලට වතුර ඛෙදාහරිනවා. අපේ ගමේ මිනිස්‌සු මළකඩ වතුර බීලා ලෙඩ්ඩු වෙනවා. ඉස්‌සර පානම ගමේ වකුගඩු රෝගියෙක්‌, පිළිකා රෝගියෙක්‌ ගැන අහන්න ලැබුණේ කලාතුරකින්. දැන් ගම හැම තැනම වකුගඩු රෝගීන්. මුළු ගමම වකුගඩු රෝගයට ගොදුරු වෙලා මියෑදිලා ගියත් වතුර ප්‍රශ්නයට නම් විසඳුමක්‌ ලැඛෙන සේයාවක්‌වත් නෑ…ල වියළි ඉකියක්‌ සමඟ පිට වන සුසුම් අකාරුණිකව සුළං රැළි සමඟ මුහුව යයි. තෙත් සහිත ඒ බර සුළඟ හුස්‌ම හිරකරවනු සේය. එහෙත් සුසුමක්‌ හෙළා ළය සැහැල්ලු කරගන්නට නොසිතේ. නො සිදු විය යුතු බොහෝ දේ සිදු වී හමාර වග ඇසෙන විට සිත්පත්ලේ උපදින්නේ තියුණු වේදනාවකි. විටෙක භීතියකි. ප්‍රභාකරන් ඔලු කටු කුඩු කරගැනීම ඉක්‌මන් කරගත්තේ මාවිල්ආරු සොරොව්ව වසා දමා ජනතාවට වතුර දීම නතර කළ හෙයිනි. රතුපස්‌වල හන්දියේ තරුණයන් වෙඩි කා මියෑදුණේ ජලය අපවිත්‍ර කරන රබර් ෆැක්‌ටරියකට එරෙහිව එගම්වාසීන් කළ උද්ඝෝෂණයක්‌ අතරතුරය. එහෙයින් ජලයෙන් උපදින ගින්න බිහිසුණුය. ජන්මයෙන්ම අහිංසක ජන කොට්‌ඨාසයක්‌ වූ පානම වැසියන් ද දැන් කෝපයෙන් පුපුරන්නේය. ඒ අහිංසක මිනිසුන්ගේ කෝපය සාධාරණය. කුසට ආහාරයක්‌ නොමැතිව දින කිහිපයක්‌ ගත කළද, පිපාසයට දිය බිඳක්‌ නොමැතිව එක්‌ දිනක්‌ හෝ ගත කිරීම අසීරුය.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ, ලාහුගල ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පානම ගමේ පදිංචි පවුල් සංඛ්‍යාව එක්‌දහස්‌ අටසීයකි. ජනගහනය අටදහසකට ආසන්නය. එම ජනතාවගෙන් පිරිසිදු පානීය ජලය ඇත්තේ සියයට දහයකට පමණි. පානීය ජල ගැටලුව තදින්ම බලපාන්නේ පානම උතුර, බටහිර ප්‍රදේශවලටය. අබේසූරිය හුස්‌ම ගන්න ඇසිල්ලට ආර්. එච්. සභාරත්න ගලා යන කතාව වෙනත් දිසාවකට යොමු කළේය. ඔහු ද පාරම්පරික ගොවියෙකි. මේ සභාරත්නගේ හඬය.

“දෙවනුවට අපේ ගමට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඉඩම් ගැටලුව. කොටි කලබල නිසා අපේ මිනිස්‌සුන්ට අවුරුදු තිහක්‌ විතර හේන්වලට යන්න බැරි වුණා. කොටි ත්‍රස්‌තවාදය ඉවර වුණාට පස්‌සේ අපේ මිනිස්‌සු කරපු හේනුත් රජයට පවරා ගත්තා. විදුලි වැටකුත් ගැහුවා. දැන් අපිට ඒ හේන්වලට අඩියක්‌ තියන්න දෙන්නේ නෑ. ඒත් අපේ ගමට අල්ලපු ගම්වල මුස්‌ලිම් මිනිස්‌සු මහ කැලෑ එළි කරලා වගා කරනවා. විදුලි වැටවලුත් නෑ, කිසිම බාධාවක්‌ නෑ. ලාහුගල රක්‍ෂිතයේ අක්‌කර දහස්‌ ගණන් කපලා වගා කරනවා. ඒ දිහා කැලෑමහත්වරු ඇහැක්‌ ඇරලා බලන්නේ නෑ. නිලධාරීන්, ආණ්‌ඩුව සේරම නීති දාන්නේ සිංහල අපිට විතරයි…”

“සමහර අවස්‌ථාවල මුස්‌ලිම් මිනිස්‌සු පොතුවිල් පාර වහලා හර්තාල් කරනවා. එතකොට අපේ මිනිස්‌සුන්ට ලාහුගලට, අක්‌කරේපත්තුවට යන්න පාරක්‌ නෑ. සමහර හර්තාල් කාලවලදී අපේ ගමේ මිනිස්‌සු දින ගණන් කන්න බොන්න නැතිව හිටියා. අදාළ නිලධාරීන්ට ඔය ප්‍රශ්න ගැන කියපු වාර අනන්තයි. ඒත් විසඳුමක්‌ ලැබුණේ නෑ. ලාහුගලින් තමයි පානම පරිපාලනය වෙන්නේ. හැම දේකටමත් අපි ලාහුගලට යන්න ඕනෑ. පස්‌සේ අපේ ගමේ මිනිස්‌සු එකතු වෙලා පානම ඉඳලා ලාහුගලට විකල්ප මාර්ගයක්‌ යෝජනා කළා. 2004 අවුරුද්දේ ඒ පාර කපන්න පටන් ගත්තා. පානම ඉඳලා, ලාහුගලට කිලෝ මීටර් පහළොවක්‌වත් දුර නෑ. පාරේ වැඩ වේගයෙන් කරගෙන ගිහිල්ලා ලාහුගලට ඔන්න, මෙන්න තියෙද්දී කිසිම හේතුවක්‌ නැතිව නතර වුණා. කාගේ බලපෑමක්‌ද කියලා අදටවත් අපි දන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩක්‌ කරගන්න ඕනෑ වුණොත් තවමත් අපි පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය පහුකරගෙන ලාහුගලට යනවා. ඡන්දේ කාලෙට අපේ මනාපය ඉල්ලගෙන එන ප්‍රබල දේශපාලනඥයෝ ඉන්නේ පානමට කිලෝ මීටර් සීයකට විතර එහා අම්පාරේ. ඒ දේශපාලනඥයන්ගේ අවධානයවත් අපේ ගමට යොමු වෙන්නේ නෑ. අපි වගා කරලා දුක්‌මහන්සියෙන් නෙළා ගන්න අස්‌වැන්නත් පොතුවිල් මුස්‌ලිම් වෙළෙන්දෝ තුට්‌ටුවට දෙකට කොල්ලකා ගන්නවා. අපි හැම අතින්ම අසරණයි…”

“ප්‍රශ්න ගැන කතා කළොත් කෙළවරක්‌ නෑ මහත්තයො…” එසේ කොඳුරමින් අබේසූරිය නැවතත් කතාවට එකතු විය.

“අපේ ගම වටේට වැව් කිහිපයක්‌ම තියෙනවා. පානම වැව, මීයන්ගොඩ වැව, වදගම වැව, හැළඹ වැව, පැලදිවුලාව වැව, තව වැව් ගොඩයි. පොකුණු, ඇළ මාර්ග විශාලයි. ඒත් අපිට හරියට පාවිච්චි කරන්න පුළුවන් වැව් තියෙන්නේ එකයි. කැඩිලා බිඳිලා ගිය එක වැවක්‌වත් අලුත්වැඩියා කරන්නේ නෑ. අඩුම තරමින් වැව්වල රොන් මඩවත් ඉවත් කරන්නේ නෑ. අපි වැස්‌ස බලාගෙන අහසට හූල්ලනවා. අපි මෙහේම ජීවත් වෙන්න ඕනෑ මිනිස්‌සු කොටසක්‌ නෙමෙයි. පානමට දීර්ඝ ඉතිහාසයක්‌ තියෙන ගමක්‌. දියුණු වාරි කර්මාන්තයක්‌ තිබුණා. ඒත් අද අපිට වගා කරන්න වතුරත් නෑ, ඉඩනුත් නෑ. දැන් අපේ පවුල් විශාල වෙලා. සමහර ඉඩම්වල හුණ්‌ඩු වගේ ගෙවල් තුන, හතර හදාගෙන. තවත් පවුල් ලොකු වෙනකොට තට්‌ටු නිවාස තමයි හදන්න වෙන්නේ…” උස්‌ ස්‌වරයක සිට අබේසූරියගේ හඬ හීන් විය.

ඌව වෙල්ලස්‌ස බ්‍රිතාන්‍ය සංහාරයෙන් දිවි ගලවාගෙන පලා ආ මිනිස්‌සු රදැල්ල, හැළව, වදගම සහ මීයන්ගොඩ ප්‍රදේශ ජනාවාස බවට පත් කරගත්හ. පසුකාලීනව එම ගම්වල මිනිසුන්ගේ සාමූහිකත්වයෙන් පානම ගම නිර්මාණය විය. පානම ජනාවාස බිහි වීමට ප්‍රධාන සාධකය වූයේ එක්‌ පසෙකින් කළපුවත්, විශාල තණ පිටි සහ ගොඩ, මඩ වගාවට කදිම පස්‌ තට්‌ටුවකින් පානම සාරවත් ප්‍රදේශයක්‌ බවට පත්වී තිබීම නිසාය. කාලය ගෙවී ගියේය. පානම සක්‍රීය ගම්මානයක්‌ බවට පත් විය. එහෙත් ඉංග්‍රීසීන්ට බියේ පෙළපත් නාම සඟවාගෙන සිටි සිංහලුන්ගේ නාම ඉදිරියට මඩකලපුව කච්ෙච්රියේ එවකට දමිළ නිලධාරීහු දෙමළ නම් ආරුඪ කළහ. එමෙන්ම මඩකලපුව, යාපනයේ දෙමළ මිනිස්‌සු දුම්කොළ වෙළෙඳාමේ පැමිණ පානම කාන්තාවන් සමඟ විවාහ වී පානම බින්න බැස්‌සහ. එමෙන්ම සංගමන්කන්ද, තම්බුලුවිල් සහ කෝමාරී ආදී දමිළ ගම්මානවල තරුණ, තරුණියන්ද පානම ගමෙන් හිරගනුදෙනු කරගත්හ. සිංහල, දෙමළ මිනිසුන් එසේ මිශ්‍රවීමත් සමඟ පානම දෙමළ සිංහල මිශ්‍ර සංස්‌කෘතියක්‌ නිර්මාණය විය. පානමටම ආවේණික වූ දේව ඇදහිලි ක්‍රම නිර්මාණය විය. පුරාණයේ සිට යාපනේ දෙමළ ජනතාව කතගරම දේවාලයට පයින් ගමන් කරනු ලබන්නේ ද පානම ගම මැදින්ය. එමෙන්ම පානම ගම යුග ගණනාවක ඈත ඉතිහාසයකට උරුමකම් කියන බව පානම ගම වටා නටබුන් වී පවතින වෙහෙර විහාර ඇතුළු ඓතිහාසික සිද්ධස්‌ථානවලින් කියා පාන්නේය. වැළලී යන ඉතිහාසයෙන් කියෑවෙන්නේ පානම යනු ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන ඉපැරැණි ගමක්‌ බවය. පානම වැසියන් ද ඔවුන්ටම උරුම වූ උප සංස්‌කෘතියක ජීවත් වන සාඩම්බර මිනිසුන් කොට්‌ඨාසයකි. එහෙයින් පානම ජීවත් වන්නේ එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් පසු බලහත්කාරයෙන් ඉඩම් කොල්ලකා ගත් පිරිසක්‌ නොවේ. මෙරට රජ කාලයේ සිට පැවත එන ජාතියේ ලේ උරුමක්‌කරුවන් පිරිසකි. එහෙව් උරුමක්‌කරුවන්ට දැන් නිදහසේ ජීවත් වන්නට මේ රටේ ඉඩක්‌ නැත. ඒ කෙසේ වෙතත් තිරිසනෙකුට වුවද පිපාසයට දිය බිඳක්‌ ලබාදීම මනුස්‌සයකුගේ යුතුකමකි. පානම ජනතාවගේ කරුමයට එහෙව් යුතුකම් හඳුනන, මිනිසුන්ගේ දුක, වේදනාව දැනෙන සංවේදී නිලධාරීන් නැත. අපේ උරුමය කොල්ලකා ගන්න වෙරදරන පිරිස්‌ දැන් පානම සිංහලුන්ව කල්ලතෝනී ගානට පත් කර හමාරය. මහ ජාතියේ එකමුතුකමක්‌ නැති රටක පානම වැසියන් පමණක්‌ නොව මුළු මහත් ජාතියම කල්ලතෝනී ගානට වැටෙන දිනය වැඩි ඈතක නැත.

පානම වැසියන්ගේ ප්‍රධාන ගැටලුව වන පානීය ජල ප්‍රශ්නයට ජාතික ජලසම්පාදන මණ්‌ඩලයෙන්ද විසඳුමක්‌ නැත. රටේ මහ ජාතියට අහිමි ජාතික ජලසම්පාදනයෙන්ද මීට වඩා යමක්‌ අපට බලාපොරොත්තු විය නොහැකි බව පමණක්‌ මතක්‌ කර සිටීම ප්‍රමාණවත්ය.

තරංග රත්නවීර

පානම විශේෂ දිනේෂ් චන්ද්‍රනාත් (දිවයින පුවත් පත වෙතිනි )

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *