නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය වනසා අලුත් ඉතිහාසයක් ලියවෙන හැටි

බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේ ගේ ලළාට ධාතුන් වහන්සේ මේ සේරු නුවර වරාහ සොණ්‌ඩ නම් තන්හි දාගැබක තැන්පත් වන බවට අනාවැකියක්‌ විය. ඒ අනාවැකිය බුදුන් වහන්සේගේමය. කාවන්තිස්‌ස රජු අතින් මේ මහත් පුණ්‍ය කටයුත්ත සිදු වෙන බව ඒ අනාවැකියෙහි වැඩිදුරටත් පැවසී ඇත. විහාර මහා දේවියගේ බෑනා වූ චුල්ලපිණ්‌ඩපාතික තිස්‌ස තෙරුන් වහන්සේ මේ කටයුත්තේ රජු මෙහෙය වූහ. රජු දෙනුවරට පැමිණ ලළාට ධාතුන් වහන්සේ එහි දාගෙයක තැන්පත් කරවා පුද පූජා කරමින් සේරු නුවර මහා චෛත්‍ය නගනු පිණිස වැඩ ආරම්භ කර බව ධාතු වංශය දක්‌වයි. මේ පුණ්‍ය කටයුත්තෙහි ගිරි අබා කුමරු සෝම දේවිය සිව රජු මෙන්ම මේ පෙදෙස්‌හි වැසි ජනී ජනයා පහන් සිත් පෙරදැරිව යෙදුණ බව පැවසෙයි. මේ මහා පින්කම නිමවා සෝමනුවරත් සේරු නුවරත් වෙහෙර ආරාම රාශියක්‌ (තුන්සිය සැට පිරිවෙනක්‌) කරවා කාවන්තිස්‌ස රජු බුදු සසුන් බැබලවීමට මහත් ක්‍රියා කළහ. බුදුන් වහන්සේ ගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කළ සෝමවතී චෛත්‍ය සෝමා දේවිය මුල් කර ගෙන ඉදිකරන ලද්දක්‌ විය.

සෝම නුවර නොහෙත් සෝමපුර නාමය වර්තමාන සිතියම් වලින් මැකී ගොස්‌ ඇත. ඒ වෙනුවට අපට අද වහරන්නට සිදුව තිඛෙන්නේ සාම්පූර් නාමයයි. කොටස කොට්‌ටියාර් වී ඇත. මේ කොට්‌ටියාර් බොක්‌කේ බොහෝ සේ අපූරු තැනක පැරණි සෝම නුවර පිහිටා තිඛෙන්නට ඇත. අද මේ ශ්‍රී විභුතිය දක්‌නට නැත. ඉතාමත් නුදුරින් තිඛෙන සේරුවිල චෛත්‍ය රාජයාණන් වහන්සේ මෙන්ම ලංකා පටුන විහාරයද මේ සෝම නුවර සංස්‌කෘතියේ මහා සම්ප්‍රදායන් ලෙසට අපට සලක්‌නට සිදුව තිඛෙන්නේ ධාතු වංශයේ එන විස්‌තරයන්ට අනුවයි..

ාදිර2බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැඩ සිටිනා අවස්‌ථාවෙහි ආනන්ද තෙරුන් වහන්සේට කළ එක්‌ දේශනාවක චෛත්‍ය සාදා වැදුම් පිඳුම් කළ යුතු පුද්ගලයන් සතර දෙනෙකු ගැන සඳහන් වේ. තථාගත සම්බුද්ධත්වයට පත් වූ බුදුන්වහන්සේ පසේ බුදුන් වහන්සේ අරහත් භාවයට පත් රහතුන් වහන්සේ සහ පංචශීලාදි ගුණයෙන් පිරි දශරාජධර්මයෙන් රට කරවූ සක්‌විති රජු යන මේ සතර දෙන ථූපරහා යනුවෙන් ගාථාවෙහි සඳහන් කර ඇත. දාගැබක්‌ ස්‌ථූපයක්‌ තනවන්නා මහත් සේ පින්කමක යෙදේ. ථූපයේ පාදම ථූප ගර්භය කොත් වහන්සේ සලපතල මළුව වැලි මළුව ආදී සියලු අංග මනාසේ සාදන්නා බුදුන් වහන්සේ ගේ අනන්ත බුදු ගුණ බලය ගැඹුරින් දකින්නෙකි. මැටි පෙනේරයෙන්ද හලා සියුම් කොට අතු කැබලි සත්ව කොටස්‌ ඉවත් කර ගඩොලු සාදන උළු වඩුවා ගැනද එකල අවධානය යොමු විය. ඔවුන් විශේෂයෙන් කළ කාර්ය භාරය නොවන්නට වසර පන්දහසක්‌ කල් ස්‌ථූප නොපවතිනු ඇත.

බෞද්ධයන් විසින් චෛත්‍ය වැඳිය යුත්තේ ඇයිද යන්නට නිවැරදි උත්තරයක්‌ තිබේ. මනුෂ්‍යයා තුළ තිඛෙන අකුසල් මග හරින්නට නම් කුසල් වැඩිය යුතුය. වීර්යය කළ යුතුයි ශ්‍රද්ධාව ඇති කර ගත යුතුයි. සියලුම පෘතග්ජන සත්වයන්ට එසේ එක පැහැර එය කළ නොහැකියි. ප්‍රතිපත්ති ගරුක වීමෙන් ශ්‍රද්ධාව වැඩීමෙන් නිර්වාණ මගට පිවිසිය හැකියි. චෛත්‍ය වැඳීම යනු ගඩොල් ගොඩකට වැඳීමක්‌ නොවෙයි. බුදු ගුණය සිහිපත් කොට ප්‍රතිපත්ති ගරුක වීමට සූදානම් වීමක්‌ ලෙසටයි දක්‌වා තිඛෙන්නේ. බුද්ධ දේශනාවේ පුලින ථූපිය තෙරුන් වහන්සේ ගේ කතා වස්‌තුවේ සඳහන් පරිවේද වේදාන්ත දත් නාරද නම් පුද්ගලයෙකු තමන්ගේ ශිෂ්‍යයන් තමන්ට වඳිනු දැක ගෞරව කරනු දැක තමන්ටද එසේ වැඳිය හැකි ගුණවත් පුද්ගලයෙකු සිටී දැයි කල්පනා කොට බැලීය. එකලද බුදුන්වහන්සේලා ගැන මති මතාන්තර විය. බුදුගුණය ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමක්‌ විය. එසේ නම් බුදු ගුණය සිහිකර යමක්‌ කරන්නමෙයෑයි සිතා ආමරික නදිය අසල වැලි ගොඩකින් ථූපයක්‌ කරවා මෙසේ කල්පනා කළේය. මේ ලෝකයේ යම් පුරුෂයෙක්‌ අනන්ත ශීල සමාධි ප්‍රඥාවෙන් හා අනන්ත කරුණා මෛත්‍රීයෙන් යුක්‌තව සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන්ම අපමණ සසරෙහි පාරමී පුරා සකල ක්‌ලේශයන් ප්‍රහීන කොට සම්බුද්ධත්වයට පැමිණියේ නම් මේ වැලි චෛත්‍ය ඒ බුදුවරයන් වහන්සේ ගේ අනන්ත ගුණය උදෙසායි. මෙසේ කල්පනා කොට වැලි තූපයට වන්දනා කළ නාරද මරණින් මතු ඉපිද සත් අවුරුදු වියේදීම රහත් බවට පත් වූ බව පැවසෙයි. ඒ බුදු ගණය සිහි කළ සංසාර පුරුද්දෙනි.

සේරුවිල මංගල මහා චෛත්‍ය මෙන්ම රුවන්වැලි මහා චෛත්‍ය මෙන්ම අසූ හාර දහසක්‌ දාගැබ් මෙහි පිහිටා ඇත. සැදැහැවත් බෞද්ධයන් දිනපතා එයට වන්දනා මාන කරති. සමස්‌ත සිංහල ද්වීපයම බෞද්ධ රාජ්‍යයක්‌ බවට පත් වන්නේ ඒ නිසාමය. එහෙත් වරින්වර සතුරු උපද්‍රව නිසා මේ දාගැබ් විනාශ වෙති. වල් වැදී ජරාවාස වෙති. එහෙත් බුදුන්වහන්සේ ගේ අපරිමිත බලයෙන් මෙන්ම සතරවරම් දෙවිවරුන් ගේ රැකවරණයෙන් යුතු බැවින් පොළවට පස්‌ නොවී තිබේ. ධාතු වංශයෙහි සඳහන් ලෙස සේරු නුවර මංගල චෛත්‍ය ඉදිකළ පසුව ශ්‍රී වර්ධන නම් බෝධියක්‌ රෝපණය කරන ලද බව කියෑවේ. මේ බෝධිය 1976 ජූලි මස 29 වන දින දෙමළ අන්තවාදීන් ගේ ග්‍රහණයට අසුව කපා කැබලිකොට ගිනි තබා තිබුණි. අසල තිබූ හින්දු කෝවිලකට ඉඩ ගන්නට එය කරන්නට ඇත. එවකට පුරා විද්‍යා කොමසාරිස්‌ව සිටි සද්ධාමංගල කරුණාරත්න මහතාට ලිපියක්‌ යොමු කරන සේරුවිල මංගල මහා විහාරයෙහි නායක ස්‌වාමීන් වහන්සේ වන පූජ්‍ය දඹගස්‌ආරේ මේධංකර නායක හිමියන් 1976 දී මේ කිලිවෙඩ්ඩි බෝධිය කැපීම ගැන වාර්තා කරයි. එහෙත් මේ ස්‌ථානය පුරා විද්‍යා රක්‌ෂිතයක්‌ කිරීමට හෝ බෝධිය රැක ගැනීමට එවකට පැවති රජය කිසිවක්‌ නෙකළහ. අවසානයේ බෝධිය අපවත් කරන ලදහ.

වර්තමානයෙහිද සෝම නුවර සමීපයෙහි මුහුද ආසන්නයෙහි සුඩෙයි කුඩාහි කුඩා කඳු ගැටයක තිබී මීටර 12 ක පමණ විෂ්කම්යකින් යුතු ස්‌ථූපයක්‌ පුරා විද්‍යා ගවේශන කණ්‌ඩායමක්‌ විසින් හඳුනා ගැනීමෙන් දින කීපයකට පමණ පසු එම පෙදෙසේ වාසය කරන දෙමළ අන්තවාදියෙකුගේ ඩෝසර පහරකින් සම්පූර්ණයෙන්ම සමතලා වී තිබේ. මීට කලින් සාගම දාගැබත් හිරුකොවිල් දාගැබත් මොට්‌ටගල කුඩා දාගැබත් මෙලෙසම විනාශ කර නිදන් වස්‌තුද කොල්ල කා කුඹුරකට අස්‌වද්දා තිබුණි. මේවා සියල්ල කරන්නේ ද්‍රවිඩ මෙන්ම මුස්‌ලිම් දේශපාලනඥයන් ගේ රැකවරණය ගත් දෙමළ මුස්‌ලිම් අන්තවාදීන් විසිනි.

දාගැබ් බිඳීමෙන් නිරයට යන බව විශේෂයෙන් වේතරණි නම් නිරයට යන බව නිමි ජාතකයෙහි දැක්‌වේ. මේ අන්තවාදීන්ට එවැනි නිනව්වක්‌ නැත. දහමෙහි ඇසුරක්‌ නැත. සහජීවනය එයට ඉඩ නොතබයි. ඔවුන්ට අවශ්‍ය ඉඩම් පමණකි. රජය කරවන ජනපති මෙන්ම අගමැතිද නාමික බෞද්ධයන් වෙති. පුරා විද්‍යා භාර ඇමති විහාරස්‌ථාන සතු ධනය කොල්ල කන්නට බලා සිටින්නෙකි. දෙමළ මුස්‌ලිම් අන්තවාදීන් ගේ බහට කන්දී ඡන්ද පොරොන්දුව මත මෙලෙස ඉඩම් කොල්ල කන්නට ඉඩදී බලා සිටීම දැන් පුරුද්දකි. කාවන්තිස්‌ස වැනි නරපතියන් සැදූ මහා ආරාමයන් මෙලෙස විනාශ වී යන්නේ සැමදෙයම අනිත්‍ය යයි සඳහන් බුදු වදන සිහි පත් කරවමිනි. එහෙත් බුදු ගුණය යට පත් කළ නොහැකිය. සෝම නුවර සුඩෙයි කුඩා චෛත්‍ය හි ගඩොල් ගොඩ මෙන්ම යූප ගලද ඩෝසර කරන ලද ගල් ගොඩේ තිබේ. අපට එය යළි ගොඩනන්වන්නට හැකිය. එදා බළන්ගොඩ කූරගල දාගැබ මුස්‌ලිම් අන්තවාදීන් විසින් විනාශ කර දැමූ පසු එය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැවත පිළිසකර කරන ලද්දේය. අපටද ඒ මග ගත හැකිය. එදා පිහිට වූ බුද්ධ බලය නැවත ප්‍රතිස්‌ථාපනය කරගත හැකිය. කුසල් වැඩෙන මහ පින්කම් යළි යළිත් කරන්නට සිංහල බෞද්ධයන්ට ඉඩහසර ලැඛෙන්නේ එවිටයි.

දාගැබ් බින්ද දු දනෝ නිරයට යන්නේ – දාගැබ් බැන්ද සුදනෝ නිවනට වන්නේ – දාගැබ් වඳින මැතිදෝ කුසලට වන්නේ- දාගැබ් රකින නිරිඳෝ සක්‌විති වන්නේ

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *