ගේ දොර වනසපු වන අලියට කාටත් හොරෙන් හංගන් ඇවිත් කන්න දෙන මනුස්සකම

පපුවට කතා කරපු නොමැකෙන මතක…

2017/ 10 / 26 වෙනිදා…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරක් ගෙවල් 63 ක් කඩලා පදවියෙ දි අල්ලලා හොරොව්පතානට අලි රැඳවුමට ඇලෙක්සැන්ඩර් අලියව දාපු දවස. 25 වෙනිදා උදේ අලියව ගස් බැඳලා 26 වෙනිදා දවල් වෙනකොට ලොරියට පැටෙව්වා.. අලියව බැඳපු වෙලාවෙ පටන් පෙරහැර වගේ මිනිස්සු ආව අලියව බලන්න .. ඒ ඇවිත් , ” මේකා අපේ ගේ කැඩුවා..මූව ගෙනියන්නමයි ඕනෙ මහත්තයා .. මගෙ හේන විනාස කලා.. කන්න දෙයක් ඉතුරු කලේ නෑ.. දැං ඇද්ද උඹට.. කොරාපු චන්ඩිකං ඉවරයි.. ”

උදේ මෙහෙම කියපු ගම්වල මිනිස්සු හවස් වෙනකොට මීට වඩා හාත්පසින්ම වෙනස් උනා.. අලියව අල්ලන්න කියලා උද්ඝෝෂණය පවා කරපු සමහර චරිත…

” මොනා උනත් මේකා පව් මහත්තයෝ .. ගමේ හිටිය එකානේ.. කරදර කලා තමයි ..ඒත් ඉතිං මෙහෙම දකිනකොට වාවන්නෑ මහත්තයා ” කියලා බැනියම අස්සෙං හංගලා ගෙනාපු ඉරිඟු කරලක් දෙකක් හොරෙන් විසි කරනව අලිය ලඟට. කියාගන්න බැරි මොකක්දෝ වරදක් පපුවෙ හිර කරගෙන ඒ වරදෙන් මිදෙන්න උත්සාහ කරන අහිංසක මිනිස්සු..

අලියව ලොරියෙ දාගෙන බෝගස් හංදියෙන් හරවලා වනජීවි බිට්ටුව ලඟට එනකොට කඩේට ආපු අත්තම්මා කෙනෙක් දෑත් එකතු කරගෙන ලොරිය දිහා බලාගෙන අඬනව.. අලියව නාවනකොට කැකිරි මල්ලක් අරං ඇවිත් ලොරියෙ හිල් අස්සෙං ඇතුලට දානව.

” ආයෙ පදවියෙං කන්න වෙන්නෑ පුතා . කාපං හොඳට .. ” කියලා ඇවිත් බලාගෙන හිටපු මට කියනව අපේ හේන මේකා ඉවරකලා මහත්තය.. ”

ගල්ගමුවේ ලොකු ඇතා මරල පාංශුකූලේ දෙන වෙලාවෙ ඒ ගමේ මිනිස්සු ඇතා මරපු උන්ට හෙණ ඉල්ලනව.. කඳුළු පිහිදාලා අඬනව..

තමන්ගෙ වත්තට ඇවිත් හේන කාලා.. පාඩු කරපු සතා මැරිලා.. උගෙන් ඉතුරු කරගත්ත වී ටිකෙන් මිනිස්සු දාන දෙනව.
දළ පූට්ටුවගෙ පොටෝ රාමු කරල එල්ලන්නේ ගෙදර බුදුන්ට පහන පත්තු කරන තැන.

මේක තමයි ගැමි විඥානය .ඒ ගැමිකම දිහා බලලා මහා උගත් දාර්ශනික මිනිස්සුන්ට හිනාවෙන්න පුළුවන් .ඒත් අලි සංරක්ෂණයේ නිවැරැදිම විද්‍යාත්මක ක්‍රමවේදය තියෙන්නේ ඒ ජන විඥානය ඇතුලෙ. ඒක තේරුම් අරං සංරක්ෂණ ප්‍රතිපත්ති හදන්න පුළුවන් නම් එදාට අලියි මිනිස්සුයි එකට ඉඳියි..

උපුටා ගැනීම පරිසර වේදී Shashikalana Ratwatte . ගෙ ෆේස් බුක් ගිනුමෙනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.