දළ පුට්ටුවා වෙනුවෙන් තවමත් නොකා නොබී හඬන ගම්මු කියන කතා

බෝසත් ගුණ සහිත මිනිසුන් පිළිබඳව සේම එවන් උතුම් ගුණ සහිත තිරිසන් සතුන් පිළිබඳවද අපට ඉඳහිට අසන්නට ලැබේ. එම තිරිසන් සතුන් අතරින් අලි ඇතුන් ප්‍රමුඛ වන බව අපට අසන්නට දකින්නට ලැඛෙන කරුණුවලින් සනාථ කර ගත හැක. තම වර්ගයාගේ නිදහස උදෙසා සිය කැමැත්තෙන් වෙඩි පහරකට මුහුණ දුන් පනාමුරේ හස්ති රාජයා එවන් බෝසත් ගුණ සපිරි ඇතකු බව ශ්‍රී ලාංකීය ජන විඥානය තුළ තහවුරු වී දැනට දශක හයක්ද ඉක්ම ගොසිනි.

පනාමුරේ හස්තියා ඝාතනයට ලක්වූයේ 1950 වර්ෂයේ අගෝස්තු 09 වැනිදාය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරළයට අයත් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේට හිමි පනාමුරේ ඇත්ගා‍ලේ දී මෙම ඝා‍තනය සිදුවිය.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම කථානායකවරයා වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේට ඇත්ගාල් උරුම වූයේ සිය පරම්පරාවෙනි.

එහි සිටි සද්දන්ත අලියෙකු තම වර්ගයා එම ඇත්ගාලෙන් මුදවා ගැනීම උදෙසා අභිතව සටන් වදින අතරේ ශ්‍රී මත් ෆ්‍රැන්සිස් මොළමුරේ විසින් යොමු කරවන ලද කදිරගාමර් නම් හමුදා නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක්වීම පනාමුරේ හස්තියාගේ දැවැන්ත ප්‍රතිරූපය ශ්‍රී ලාංකීය ජාතිකත්වය හමුවේ මනා සේ ගොඩනැගීමට හේතු විය. ඒ එම හස්තියාට පලායාමට ඉඩ සලසා තිබියදී ඔහු එහිම රැදී සිට තම වර්ගයා උදෙසා ජීවිතය පූජා කළ බැවිනි.



එවන් බෝසත් කුලයට අයත් ඇතෙකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි තවත් මාහැඟි නිදසුනක් පසුගිය දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයෙන් ඉස්මතු විය. ඒ පසුගිය නොවැම්බරයේ දී ඇත්දළ සොරුන් විසින් කෘෘර ලෙස මරා දමන ලද බෝසත් ගුණ සපිරි ‘දළ පූට්ටුවා’නම් හස්තිරාජයා පිළිබඳවය.

මෙම බෝසත් හස්තියා පිළිබඳ ගුණකාය ~පනාමුරේ හස්තියා~ ගේ ගුණකායට නොදෙවෙනි අයුරින් ගොඩනංවා තැබීම වර්තමානිකයන් වන අපගේ ප්‍රබල යුතුකමක් හා වගකීමක් වී තිබේ. මෙම ලිපි පෙළ සැකසෙන්නේ එම මහඟු අරමුණ උදෙසාය.

මිනිසකුට තබා කුරාකුහුඹුවකුටවත් හානියක් විපතක් සිදු නොකළ දළ පූට්ටුවා මහ වනයේ සිට මුල්වරට ගල්ගමුව ප්‍රදේශයේ ජනතාවට දැක ගැනීමට ලැඛෙනුයේ 2011 වසරේ දීය. ඉන්පසු ගල්ගමුවේ උස්ගල – සියඹලන්ගමුව වැව ආශ්‍රිත වනයේ ජීවත්වූ මෙම හස්ති රාජයා ප්‍රදේශයේ ගම්මුන් සමග සුවිශේෂී ඥාතිත්වයක් මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට ද විස්මිත අයුරින් සමත් වී ඇත.

ඒ වන විට ද දඩයම් කරුවන්ගේ වෙඩි උණ්ඩ වලින් නිකුත් වූ මූනිස්සන් විශාල ප්‍රමාණයක් ශරීරයේ තිබූ අතර වෙඩි පහරක් වැනි ප්‍රහාරයකින් ඔහුගේ එක් ඇසක් ද අන්ධව තිබිණි. පරිසරවේදී නයනක රන්වැල්ල පවසන අන්දමට දළ පූට්ටුවා මිනිසුන්ට ආදරය කරුණාව මෛත්‍රිය පතුරුවා ඇත්තේ මිනිසුන් වෙතින් එල්ල වූ එවන් තාඩන පීඩන මධ්‍යයේය.

එනිසාම ඇත්දළ සොරුන් විසින් මෙම හස්ති රාජයා මරා දැමූ පුවත සැලවීමත් සමග මුළු ගල්ගමුව ප්‍රදේශයම එකම මළ ගෙයක් බවට පත් වූ අයුරුත් කුඩා දරුවන් කාන්තාවන් පමණක් නොව වැඩිහිටි පිරිමින් පවා මෙම හස්ති රාජයාගේ ගුණ සිහිකරමින් හඬා වැටුණු අයුරුත් මෙම සිද්ධිය වාර්තා කිරීමට ගල්ගමුව ප්‍රදේශයට ගිය ජනමාධ්‍යවේදීන්ගේ කැමරාවල සහ පටිගත කිරීමේ යන්ත්‍රවල සටහන් වී තිබේ. ඉන් අනියම් ලෙසින් කියා පෑ රහස වූයේ මෙම සතා තුළ පැවැති බෝසත් ගුණය ගම්මුන්ට මනා සේ වැටහී තිබුණු බවය.

මේ එම දළ පූට්ටුවා හස්ති රාජයා පිළිබඳව ප්‍රදේශවාසී හිමිවරුන් දෙදෙනෙකු අප වෙත ඉදිරිපත් කළ ඔහුගේ ගුණ සමුදායන් පිළිබඳව තොරතුරුවලින් බිඳකි.

ගල්ගමුව යූ.බි. වන්නිනායක මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති, ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති ගලහිටියාවේ සිරිරතන හිමිපාණෝ,

ඔය දළ පූට්ටුවා මේ පැත්තේ සැරිසරන අනික් අලි ඇතුන්ට වඩා හුඟක් වෙනස්. මේ සතාගේ දළ දෙක පූට්ටුවෙලා තිබිම හින්දා අනික් ඇත්තුන්ට වගේ නිදහසේ හොඬවැල හසුරුවන්න බෑ. ඒ හින්දම මේ සතාට බඩ පුරවා ගන්න සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. මේ සතා අනික් සත්තු වගේ රෑට විතරක් නෙමෙයි දවල්ටත් මේ ගම්මානවල සැරිසරන්නේ ඒ කුසගින්න හින්දම වෙන්න ඇති. ඒ වගේම ඔය දළ පූට්ටුවාගෙන් ගම්මුන්ට යම් වගා හානියක් වුණත් සමහර අලි වගේ වගා පාළු නොකර ඒවායින් ටිකක් කාලා යන ගතියක් ඔය සතාගේ තිබුණා. ඉස්සර අපේ ඉස්කෝ‍ලේ හිටපු මාගල්කඩවල පැත්තේ ටීචර් කෙනෙකුගේ ගෙදරට කීප සැරයක්ම ඔය ඇතා ඇවිත් තියනවා. එතකොට ගෙදර තියන කෙහෙල් ගෙඩියක් වගේ පුංචි දෙයක් දීලා අද උඹට දෙන්න තියෙන්නේ මෙච්චරයි දැන් පලයන් කිව්වම ඔය සද්දන්තයා පුංචි ළමයෙක් වගේ ආපහු හැරිලා යනවා කියලා මේ ටීචර් පහුගිය දවසක ඉකිගහමින් ඇඬුවා. ඒ වගේම ඔය දළ පූට්ටුවා හේනකට, කුඹුරකට බැස්සත් අයිතිකාරයෝ එපා කියපු හැටියේ ආපහු හැරිලා ගියා.

ගල්ගමුව, කංකානියාගම ශ්‍රී සම්බෝධි විහාරාධිපති සංගප්පා‍ලේ අමරවංශ හිමිපාණෝ,

අපේ පන්සල පිහිටලා තියෙන්නේ මහ ගල්ගමුව වැව ඒ කියන්නේ යකාබැඳිවැවට කිට්ටුව. ඔය දළ පූට්ටුවා ඔය වැව වටේ තියන රක්ෂිතයේ නිතරම ගැවසෙනවා. ඔය අතරේ කෑමට යමක් හොයාගෙන මේ ගමටත් එනවා. එතකොට කවුරු හරි මේ සතාට කිව්වොත් උඹ ඇවිත් ඔහොම අපි හිටවපු දේවල් කෑවම අපි අපේ දරුවන්ට කන්න දෙන්නේ මොනවද කියලා මේ සතා කන්න කටට ගත්තු ටිකත් ආපහු බිමට දාලා ආපහු හැරිලා යනවා. මේ දළ පූට්ටුවා ඒ තරමටම අහිංසක සතෙක්. ඒ වගේම මේ සතාගේ ඇඟ ඇතුළේ එක එක කාලවල දී ඇතුල්වෙච්ච මූනිස්සම් කිලෝ ගාණක් මරණ පරීක්ෂණයේ දී හොයාගෙන තියෙනවා. මේ සතා මැරෙන කල්ම කරුණාවන්ත වුණේ ඒ වගේ තිරිසන් වැඩ කරපු මිනිස් සමාජයකට. ඒ වගේම මේ සතා අපේ පන්සල් වතු වලට ‍ඕනෑතරම් ඇවිත් තියනවා. නමුත් බැරි වෙලාවක්වත් පන්සල්වත්තක තියෙනවා කෙසෙල් පඳුරකටවත් හානියක් කරලා නැහැ. මම පෞද්ගලිකව විශ්වාස කරනවා දළ පූට්ටුවා කියන්නේ මතු බුදුවෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් කියලා.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *